ජනාධිපති කුසලාන පාසල් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලය​ට

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වී තිබෙනවා.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9 ක් ලෙස පරාජය කිරීමට සමත් වුණා.

පළමු අර්ධයේදී ද ලකුණු 7-6 ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධයේදී තවත් ලකුණු පහක් එකතු කරගැනීමට ඔවුන් සමත්වුණා.

ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2 ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

ප්‍රදේශ දෙකකදී යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් දෙකක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් දෙකක් අද (18) වැල්ලවත්ත සහ වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේදී එම සැමරුව පැවැත්වෙන අවස්ථාවේ පිරිසකගෙන් විරෝධයක් එල්ල වූ අතර එහි ආරක්ෂාවට පොලීසියද යොදවා තිබුණා.

මේ අතර වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news images

news images

news images

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත   විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටින්නේ.

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාර‍වෙයි

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා.

ඒ අනුව අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 16 වනදා කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකළා.

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙස සියලු දෙනා සාමූහිකව දුටු සිහිනයක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

LTTE සංවිධානයට එරෙහිව කළ යුද්ධය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවන බවත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාව බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

දෙමළ සිවිල් වැසියන් LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක, යුධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදුකරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත්කළ බවත් එදා තම ජීවිත බේරාගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරණු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව තමා දණින් වැටී නමස්කාර කළේ රටේ වීරෝධාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියට බවත් මින් ඉදිරියටත්, තමා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා! යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති සහභාගී වෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසනවා.

ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගීවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි ගාස්තු 18.3%කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.

ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙන්නේ..

විදුලි බල මණ්ඩල යෝජනාව සමාලෝචනය කර මේ සම්බන්ධයෙන් එළැඹෙන 20 වනදා වන විට මහජන අදහස් විමසීම සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා, ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු බවයි සඳහන් වන්නේ.

මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.