නීති ශිෂ්‍ය සංගමයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව මෙම වැඩසටහන හෙට (28) පෙරවරු 10.30 සිට නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය හා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ග්‍රාම නිලධාරීන් දින දෙකක් රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ග්‍රාම නිලධාරීන් අද (27) හා හෙට (28) යන දින දෙක තුළ සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

2016 වසරෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කළේ.

ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අමතරව මෙම වෘත්තීය ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සංජය රාජරත්නම්ගේ සේවා දිගුව ගැන යෝජනාව යළිත් පරාජයට පත්වෙයි

නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදීද එය පරාජයට පත් වුණා.

ප්‍රශ්නය​ට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වෙනවාද? අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද? – ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.

* මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද?

* මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද?  නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා. ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.

* මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.

නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟතාවයට එළැඹුණා – ජනපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා.

* අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟතාවයට එළැඹුණා.

* චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී  අවසන් එකඟතාවයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා.

* ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබාගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.

* මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි.

* ඉන්පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුමකට අත්සන් තබයි

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබෙනවා.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසා ගැනීම නැවත ආරම්භ කිරීමට ද අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ගුරු-විදුහල්පති වර්ජනය හෙටත් පැවැත්වෙයි

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඔවුන් විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමත් සමග පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙයි

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ මෙම ගිවිසුම මගින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන බවයි වාර්තා වෙන්නේ.

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඔවුන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් සිය විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණා.

කොළඹ – කොටුව මාර්ගය අවහිර වෙයි

ගුරු – විදුහල්පති විරෝධතාවය මේ වන විට කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් එම මාර්ගය අවහිරවී ඇති බවයි වාර්තා වෙන්නේ.