නීති විරෝධීව ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 36 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ධීවරයින් භාවිතා කළ නීති විරෝධී දැල් 117ක්, ඩිංගි යාත්‍රා 09ක්, මුහුදු කූඩැල්ලන් 3808ක්, අධි තාක්‍ෂණික ධීවර උපකරණ, නිති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ අධිබල විදුලි ආලෝක ධාරා උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මඩකලපුව කොටුවමඩ, ත්‍රිකුණාමලය සල්ලිකෝවිල්, එරක්කන්ඩි, අලියා දූපත, නන්දිකඩාල්, කල්ලඩි, පේදුරුතුඩුව සහ මුලතිව් ආලම්පිල් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් ධීවර කටයුතුවල නිරත වී ඇති බව සඳහන්.

නාවික හමුදාව විසින් මැයි 10 වැනිදා දින සිට 19 වැනිදා දක්වා සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, ත්‍රීකුණාමලය, කෝඩ් බේ, මුලතිව්, මාමු‍නෛයි, පේදුරුතුඩුව සහ වාකරේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සාගල රත්නායක කොළඹ පුරපති ලෙස පත්කරන බවට සඳහන් ලිපිය අසත්‍යයක් – UNP

කොළඹ නව පුරපති‍ පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ඒ අනුව කොළඹ නව පුරපති‍ ලෙස සාගල රත්නායක පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රෙ‍්මදාස එකඟ බවටයි අදාළ ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ ව්‍යාජ ලිපිය පහතින්.

news images

මෙතරම් ජනවරමක් ලැබිලත්, එක රටක් කරා යන්න එම ජනවරම භාවිතා කරන්න ආණ්ඩුවට බැරිවෙලා – පාඨලී

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවයට සහභාගීවීමට අවසන් මොහොතේ හෝ තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ස්තූතිවන්ත වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

අනුර කුමාර ජනාධිපතිවරයා වියට්නාමයට ගිය අවස්ථාවේ එරට විරුවන් සැමරීමට එක්වූ බවත්, අගමැතිවරිය ද පලස්තීන නිදහස වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වූ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ‘අදිටන’ නමින් රණවිරුවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ බවද, ඒ හේතුවෙන් ජනාධිපතිවරයා එයට සහභාගීවීම වැදගත් බවද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

වත්මන් රජයට මෙතරම් විශාල බලයක් ලැබුණත්, සමාජයේ ඇති විභේදනයන් එකතු කර, එක රටක් කරා යාමට එම අසීමාන්තික ජනවරම භාවිතා කිරීමට වත්මන් රජය කටයුතු කර නොමැතිවීම කණගාටුදායක බවයි පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ ආණ්ඩුවට වැඩ කරන්න තේරෙන්නේ නෑ – කබීර්

වත්මන් ආණ්ඩුවට වැඩක් කිරීමට නොතේරෙන බවත්, මාස හතක් ගතවී ඇතත් කිසිඳු ප්‍රතිඵලයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

ඒ අනුව, ඔවුන්ට පළාත් පාලන ආයතනවල බලය ලබාදීමට කටයුතු කළහොත් රට තවත් විනාශ වනු ඇති බවත්, විපක්ෂයට ආණ්ඩුවට වඩා හොඳට වැඩ කිරීමට හැකි නිසා අනෙකුත් කණ්ඩායම් එක් කර ගනිමින් සභා පිහිටුවීමට කටයුතු කරන බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලට කිසිඳු නායකත්වය ගැටළුවක් නොමැති බවද, විවිධ වු ආසනවල දේශපාලන පක්ෂ හා කඳවුරු වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වු බවද, ඔවුන්ට ලැබීි ඇති මන්ත්‍රී ධුර ගැන ඔවුන් සමඟ සාකච්ඡා කර සභා පිහිටුවීමට කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

බලය වෙනුවෙන් උතුරෙත් දකුණෙත් යළි ජාතිවාදය කරළියට පැමිණ තිබෙනවා – ජනපති

බලය ලබා ගැනී‍ම වෙනුවෙන් උතුරේත් දකුණේත් යළි ජාතිවාදය හිස ඔසවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අප අතර ජීවත්විය යුතුව තිබූ විශාල පිරිසක් යුද්ධය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කළ බවත්, ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ද මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකර ඇති බවත්, ජාතියක් ලෙස අප සියලු දෙනාම ඔවුන්ව අනුස්මරණය කළ බවයි අද (19) රණවිරු සැමරුම් දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

යුද්ධය යනු විශාල ඛේදවාචකයක් හා විනාශයක් බවද, සටන් කරන ලද කිසිවෙක් යුධ වැදුනේ යුද්ධ අපේක්ෂාවෙන් නොවන බවද, ඔවුන් සියලු දෙනාම යුද්ධ කරන ලද්දේ සාමය අපේක්ෂ‍ාවෙන් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අප මව්බිම, උතුර – දකුණ භේදයකින් තොරව යුද්ධයේ ඛේදවාචකයේ නටබුන් විශාල ප්‍රමාණයකින් ගො‍ඩනැගී ඇති බවත්, දකුණේ මෙන්ම උතුරේද යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් අදටත් තමන්ගේ ස්වාමියාගේ, දරුවාගේ ඡායාරූපයක් තබා ගනිමින් විලාප දෙන බවත්, අපගේ වගකීම වන්නේ රට තුළ යළි මෙවැනි යුද්ධයක් ඇතිවීමට ඉඩ ලබානොදීම බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

අපගේ පරම්පරාව යුද්ධ කර ඇති බවත්, අපගේ පරම්පරාවට සැකය, කෝපය, වෛරය ඇතිවී ඇති බවත්, නමුත් අපගේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක් හා සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

නමුත් විටින් විට බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම හා බලය තර කර ගැනීම වෙනුවෙන් යුද්ධය, ගැටුම්, ජාතිවාදය උපයෝගී කරගෙන ඇති බවත්, ගෝරනාඩුවලට බිය නොවී සාමය සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළියට පැමිණ ඇති බවද, යුද්ධය අවසන් වුවද, මාතෘ භූමියට පූර්ණ වශයෙන් නිදහස අත්පත් කර ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති බවද, ගැටුම් නොමැති, අවිශ්වාසය නොමැති, වෛරය නොමැති රටක් නිර්මාණය කිරීම තුළින් පූර්ණ නිදහස අත්පත් කරගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.

මේ සඳහා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.

මේ සඳහා  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.

news images

news images

news images

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ උතුරු යන පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවද, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

‍16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව, අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256කට උසස්වීම් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848කට උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093ක් සඳහා ද උසස්වීම් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

දේශබන්දු විමර්ශන කමිටුව හමුවට පැමිණෙයි

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බවට සඳහන් විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්වී තිබෙනවා.

ඒ අනුව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම කමිටුව හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබෙනවා.

බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපති විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි පත්කර තිබෙනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කමිටුව විසින් කරුණු අධ්‍යනය කිරීමට නියමිත අතර, මීට අමතරව කාලාවරෝධය වූ වැරදි වේ නම්, ඒවා හඳුනා ගැනීමද කමිටුවට පවරා ඇති වගකීමක් බවයි සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.