තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් පුද්ගල මට්ටමේ දෙවන රැස්වීම මෙය වන අතර, එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත  සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීමට හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්.

මෙම සංචාරයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා තිබුණු අතර, ඉදිරි සාකච්ඡාවලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිර්මාල් විග්නේෂ්වරන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දර්ශන පෙරේරා යන අය මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නිල නිවේදනය පහතින්.

news images

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙන්, ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා යන දින දෙක සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවාඩු දින දෙන වෙනුවට මැයි 26 සඳුදා සහ මැයි 27 අඟහරුවාදා දිනයන් හිදී එම පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා වන දෙවන වාරය 26 වැනි සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව, ඇයගේ අවසන් කටයුතු මැයි 26 වන සඳුදා දින සිදු කරන බවයි සඳහන් වන්නේ.

අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මැයි 25 ඉරිදා පෙ.ව. 10.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ලබනවා.

“ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින” ලෙස හැඳින්වුනු මාලිනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට ඇය 78 වන වියෙහි පසුවුණා.

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද මෙරටට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි.

ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

වින්ස්ටන් පීටර්ස් විසින් අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතා, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

දුමින්ද දිසානායක රිමාන්ඩ්

අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඊයේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කතරගම ඇසළ මංගල්‍යය ජුනි 26 සිට ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ජුනි 26 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, ජුනි 26 වැනි දින පෙරහැර ආරම්භ කර, ජුලි 10 දක්වා පෙරහැර පවත්වා, ජුලි 11 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ මංගල්‍යය සිදුකර පෙරහැර මංගල්‍යය අවසන් වන බවයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ.

පාද වන්දනාව සඳහා පිවිසිමට කුමන හා යාල වන උද්‍යානය බැතිමතුන් සඳහා විවෘත කිරීම ජුනි 20 සිදු කරන බවද වනජීවි නිළධාරින් මෙහිදී සඳහන් කළා.

ඇසළ මංගල්‍යය වෙනුවෙන් පොලිස් නිළධාරින් 1,200 ක් යොදවන බවත්, රථ වාහන පරීක්ෂාව සහ මත්ද්‍රව්‍ය වැටලීම් ආදිය පොලිසිය විසින් සිදු කරන බවයි මාතර තංගල්ල කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කර සිටියේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images

ජනපති අනුර ජුනි මාසයේ ජර්මනියේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මස 10 වැනිදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී ජනපති අනුර කුමාර දිසානායක විසින් ජර්මානු ජනාධිපතිවරයා හමුවීමට ද නියමිත බවයි ‍විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කර සිටියා.

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට හෙට පත්වීම් ප්‍රදානය කෙරේ

හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

හෙට පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

මෙරට බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිච්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුනි මස පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයෙන් අනතුරුව තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි ඔහු නිවේදනය කර තිබෙන්නේ.

වසර 17 ක ඔහුගේ ටෙස්ට් දිවිය තුළ තරග 118 කට ක්‍රීඩා කර ඇති ඔහු, එහිදී ඉනිම 210 ක් තුළ ලකුණු 8167 ක් ලබාගෙන, ශතක 16 ක් හා අර්ධ ශතක 45 ක් වාර්තා කර තිබෙනවා.

එසේම ඔහු ටෙස්ට් කඩුලු 33 ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images