මර්වින් හා ප්‍රසන්න ඇතුළු සැකකරුවන් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (26) නියෝග කර තිබෙනවා.

ඒ අනුව අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන ජුනි 09 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ආරුගම්බේ බිකිනි තහනමේ කතාව ව්‍යාජ පුවතක් – සංචාරක නියෝජ්‍ය ඇමති

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතනවල මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගය බලය පිහිටුවීමට සූදානම් වන අවස්ථාවක, එම ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කරමින් ඇති බව සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහ පවසනවා.

ඒ අනුව ආරුගම්බේ සංචාරක කළාපයේ බිකිනි තහනම් බවට පළකර තිබුණු සටහන් ව්‍යාජ ඒවා බවයි ඔහු පවසන්නේ.

ආරුගම්බේ හි මීට සති කිහිපයකට පෙර යම් පුද්ගලයෙක් මාර්ගයේ නිරුවතින් ගමන් කර ඇති බවත්, එයද යම් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව සිදු කළාද යන්න සැක සහිත බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික අනන්‍යතාවයට ගරු කරන බවත්, සංචාරක කර්මාන්තය පැවතුනා වුවද විදේශිකයින්ට පවා නිරුවතින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවත්, මෙරට සංස්කෘතික අනන්‍යතාවයන්ට ඔවුන් ගරු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආර්ථිකය නැවත ගොඩ නගන ව්‍යායාමය අඩපණ කිරීමට නැවතත් ව්‍යාජ පුවත් මැවීමේ හැකියාවක් පවතින බවයි සංචාරක නියෝජ්‍ය ඇමති මහාචාර්ය රුවන් රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරේ

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණු අතර, මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතු වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කර තිබෙන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණා.

***ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.***

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක සඳහන් කළා.

T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් පමණයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුවද සත්‍ය වශයෙන්ම රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග හතලිස් ගණනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය වසරේ සියලුම ඖෂධ මිලදී ගැනීමට යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් මෙම වසරේ යොමුකර ඇති බවත් පවතින ගැටලුව විසඳීමට හැකි ක්‍රමය වන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉක්මන් මිලදී ගැනීමක් ලෙස මාස තුනත් හයත් අතර ආරක්ෂිත තොගයක් ලබාදෙන ලෙස රජයට යෝජනා කර ඇති බවත් එය  ඉතාමත්ම නීත්‍යානූකූල ආකාරයෙන් සිදු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන එයි

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද සිට (25) තැම්පත් කර තිබෙනවා.

ඒ අනුව දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා ඇති බවයි සඳහන් වෙන්නේ.

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.

තණමල්විලදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටී අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණවල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මේ වන විට ආසන සංවිධායකවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස්වී ඇති අතර මීට පෙර චමින්ද විජේසිරි, නීතිඥ චම්පික විජේරත්න, රංජිත් අලුවිහාරේ තමන් දැරූ ආසන සංවිධායක තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබෙනවා.

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (25) අලුයම දිවයිනට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතයි.

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීම සඳහා බවයි.