කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට එරෙහිව අන්ත​රේ විරෝධතා පා ගමනක

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විරෝධතාකරුවන් කොළඹ කොටුවේ සිට ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ගනිමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා කොටුව ලෝටස් වටරවුමෙන් මාර්ගය වසා දැමීටම පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පෞද්ගලික අංශය සමග තරගකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින්, 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගමට මීට පෙර (2023 ජූලි 17 දින) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ඉදිරි වගා කන්නය සඳහා අවශ්‍ය මෙම යූරියා තොගය, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම් ක්‍රමවේදය යටතේ ආනයනය කිරීමට නියමිත අතර, විවෘත වෙළෙඳපොළ තුළ සෘජු පොහොර ලෙසත්, මිශ්‍ර පොහොර ලෙසත් මෙය අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

රාජගිරියේ ව්‍යාපාරික ස්ථානයක ගින්නක්

රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නි‍වීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒ්කක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

අදාළ වාර්තා මඟින් නිර්දේශිත බඳවා ගැනීම් සිදු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, මෙමගින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයින්ට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි කර, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා විහිදෙන කිලෝමීටර 7.4ක පමණ දුරකින් යුත් කොළඹ සමුද්‍රීය මාර්ගය (Marine Drive) සංවර්ධනය කිරීමට නියමිතයි.

එහිදී ගාලු මුවදොර කෙළවරේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා වූ මීටර 400ක පමණ කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

නීති විරෝධීව දේශ සීමා හරහා යාමට උත්සාහ කළ ලාංකිකයන් තිදෙනෙක් ඇල්බේනියාවේදී අත්අඩංගුවට

ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා හිදී දේශසීමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ ගමනාන්තය ඉතාලිය වන බවත්, ඔවුන් ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් ‘කාෆේ තානේ’ දේශසීමා හරහා ගමන් කිරීමට තැත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 57, 51 සහ 36 හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකිකයින් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ Fabrício Oliveira ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති සාකච්ඡාවේ දී ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන  ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනික ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ සහතික වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

දේශපාලන සුන්බුන් එකතු වෙලා බලය පිහිටුවන්න එයාලට ජන වරමක් ලැබිලා නැහැ – ජනපති

දේශපාලන සුන්බුන් බවට පත්ව ඇති දේශපාලන පක්ෂවලට එක්වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජනතාව ජන වරමක් ලබා නොදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාව තම පක්ෂයට ලබාදුන් බහුතර ජන බලයට ගරු කරමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවයි අරලියගහ මන්දිරයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ගැසට් කළ විගසම පළාත් පාලන ආයතන 152ක බලය තහවුරු කිරීමේ හැකියාව තිබෙන බවත්, තවත් සභා 115ක බලය ද පිහිටුවිය හැකි බවත්, ජාතික ජන බලවේගයට තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මාලිනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමු ගනියි

‘හෙළ සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත්, අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අද (26) පස්වරුවේ දැයෙන් සමුගත්තා.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර, ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.

1963 වසරේ ‘නොරත රත‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන දිවිය ආරම්භ කළ මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී තිරගත වූ ‘පුංචි බබා‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, අනතුරුව ගතවූ දශක 06කට ආසන්න කාලය තුළ චිත්‍රපට 150කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් මෙරට සිනමා ක්ෂේත්‍රයට දායාද කිරීමට සමත් වුණා.

නිධානය, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, අපේක්ෂා, ආකාස කුසුම්, ඇතුළු චිත්‍රපට හරහා සිය රංගන හැකියාව මනාව ප්‍රකට කළ ඇය පිටගම්කාරයෝ, කෙම්මුර, අඹු දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක් සඳහාද රංගනයෙන් දායක වුණා.

මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස සැලකෙන අතර, 1976 වසරේදී 09 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇය ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකය ද දිනාගත්තා.

එසේම, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට ඇය හිමිකම් කීමට සමත් වුණා.

හෙළ සිනමාවේ නිළි රැජිනියනි, ඔබට නිවන් සුව…!

news images

news images

ඩෙංගු මර්දන සතිය තුළ මදුරු කීටයන් සහිත ස්ථාන 1,470කට නීතිමය පියවර

මැයි 09 වැනිදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම විශේෂ මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් හඳුනාගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,777ක් මෙහිදී හඳුනාගෙන ඇති අතර, මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 3,916ක් සඳහා රතු නිවේදන නිකුත් කර තිබෙන බවත්, තවත් පරිශ්‍ර 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.