අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි පැදවූ වයස අවුරුදු 17ක ළමයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට ඔහු රුපියල් 10,000ක අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති අතර, පසුව එය අල්ලස් කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයට

අයහපත් කාලගුණය සමඟ පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා‍.

ඒ අනුව, එම ප්‍රදේශයට මිලිමීටර් 75.2 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව වටවල, ඇහැලියගොඩ, දැරණියගල සහ සාලාව යන ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අදාළ වාර්තාව පහතින්.

news images

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් වාර්තාවක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 400 ක් ලබාගත්තා.

එම ලකුණු 400 වාර්තා අතරට එක් වුණේ කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක් ශතකයක් වාර්තා කිරීමකින් තොරව කණ්ඩායමක් එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ දකුණු අප්‍රිකාව වන අතර එහිදී 2007 වසරේ පාකිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව ලකුණු 392 ක් රැස් කර තිබුණා.

මේකට අනුර කුමාර ජනාධිපතිවරයාට ස්තූති කරන්න ඕනෙ – හර්ෂ

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව රටේ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙම නඩු තීන්දුව හරහා පෙන්නුම් කරන්නේ විනිසුරු මඩුල්ලට නොබියව තමන්ට සුදුසු යැයි හැ‍‍ගෙන තීන්දුවක් ලබාදීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ස්තූතිවන්ත විය යුතු බවයි SLVLOG නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බවට පත්වීම නිසා, අනෙකුත් අයටත් පාඩමක් වන ලෙස සලකා දැඩි තීන්දුවක් ලබාදී ඇති බවත්, කවුරුන් හෝ මින් ඉදිරියට මෙවැනි දෙයක් සිදුකර ලිස්සා යාමට කටයුතු කරන්නේ නම් එසේ කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

දූෂණය නැති කළ හැකි නම්, රටේ අනාගතයට එය සුබවාදී වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා T-10 තරග පාවා දීමේ සිදුවීමට Galle Marvels හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව, විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමකට මහනුවර මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

මහින්දානන්ද සහ නලින් සම්පූර්ණ නඩු තීන්දුව

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

ඒ අනුව, හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් නියම කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

ඊට අමතරව, නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කළා.

විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔවුන් වරදකරුවන් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කළ අතර ඉන් අනතුරුව දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේ දැයි සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියා.

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වා මෙසේ කරුණු දක්වා සිටියා.

” ස්වාමීනී… දැන් නඩුවේ තීරණය ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් මොනව කිව්වත් ප්‍රයෝජනයක් නැහැ. සතොස කියන්නේ වෙළෙඳ ආයතනයක්. ඔවුන් තමන්ට ලැබෙන ඇණවුම් අනුව භාණ්ඩ ආනයනය කරනවා. මගේ සේවාදායකයා සිදු කරලා තිබෙන්නේ මේ කටයුත්තට අදාළ ණයවර ලිපි විවෘත කිරීම පමණ යි. ඔහු වැරදි ක්‍රියාවක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. මේකෙන් රජයේ නිලධාරීන්ට පාඩමක් ලැබෙනවා. රජයේ නිලධාරින් පුළුවන් තරම් වැඩ ප්‍රමාද කරන්න. ඉක්මනට කාර්යක්ෂමව වැඩ කරන්න ගියොත් අල්ලස් කොමිසමෙන් නඩුවක් වැටෙයි. මේක ඉතා ම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ක්‍රියා නිසා රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂමව වැඩ කරන්න බැරි වෙනවා. මේ වරද නිසා විත්තිකරුට සමාජයෙන් විශාල අපවාදයක් එල්ල වෙනවා. ඔහුට දේශපාලනය කිරීමට තිබෙන අවස්ථාවක් නැති වෙනවා. විත්තිකරුට ව්‍යාපාරයක් තිබෙනවා. ඒ සඳහා ඔහු විශාල මුදලක් ණය වෙලා තිබෙනවා. ඔහු සිරගත වුණොත් මේ ණය ගෙවා ගන්න බැරිව ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. ඔහුට පෙර වැරදි නැහැ.”

එසේ සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා විත්තිකරුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ද මෙසේ කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනි,.. මේ භාණ්ඩ ආනයනය කිරීම හරහා මගේ සේවාදායකයාට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. ඒ පිළිබඳව ඔහුට නිසි වැටහීමකුත් නෑ. දඬුවම් නියම කිරීමේදී මාගේ සේවාදායකයා යම් ප්‍රතිලාභයක් ලබා තිබෙනවාද කියා සලකා බැලිය යුතු යි. ඒ කාරණය සැලකිල්ලට භාජනය කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විත්තිකරු හැට එක්වන වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට පෙර වැරදි කිසිවක් නැහැ. 2015 වසරේ මෙම විමර්ශනය ආරම්භ වුණත් තීන්දුව ප්‍රකාශ වන්නේ 2025 වසරේ. ඒ නිසා දඬුවම් නියම කිරීමේදී එම කරුණත් සැලකිල්ලට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා අනතුරුව සිය සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළා.

“ස්වාමීනි …මෙම විත්තිකරුවන් වරදක් සිදු කර තිබුණත් ඔවුන් පෞද්ගලිකව ප්‍රතිලාභ ගෙන නොමැති බව ඔවුන්ගේ නීතිඥවරු ප්‍රකාශ කළා. ඒ වගේ ම ඔවුන් අල්ලස් කොමිසම ගැනත් වැරදි අදහසක් සමාජගත කරන්න උත්සහ කළා. ඔවුන් ප්‍රකාශ කළා කාර්යක්ෂමව වැඩ කරන නිලධාරීන්ට නඩු වැටෙන බවට. මා සඳහන් කරන්න කැමති යි මේ නඩුවේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කළේ, ඔවුන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර රජයට පාඩුවක් සිදු කිරීම නිසයි. මේ විත්තිකරුවන් දෙදෙනාම රජයේ සේවකයින්. ඔවුන් මෙම ක්‍රියාව හරහා රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම තමයි මේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කර තිබෙන්නේ. පළමු විත්තිකරු සතොස ආයතනයේ සභාපති වගේ ම පසුව කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්වුණා. දෙවන විත්තිකරු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඔහු තමාට අදාළ නොවන ක්‍රියාවක් තමයි කරලා තිබෙන්නේ. ඔවුන් එක්ව තමන්ට අදාළ නොවන ක්‍රියාවක් බලය අයුතු ලෙස යොදවමින් ක්‍රියාවේ යොදවා තිබෙන බව සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. මේ වරද හරහා ඔවුන් රුපියල් මිලියන 53 කට වැඩි මුදලක් රජයට පාඩු කර තිබෙනවා. මේ මුදල් කාගෙද? මේවා මහජනතාවගේ මුදල්. දඬුවම් නියම කිරීමේදී ඔබතුමන්ලාට අභිමතයක් තිබෙනවා. ඒ අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මා සඳහන් කරන කරුණු ගැන සැලකිලිමත් වන ලෙස මා ඉල්ලා සිටිනවා. වරද සිදු කළ අවස්ථාවේදී පළමු වන විත්තිකරු රාජ්‍ය සමාගමක සභාපතිවරයෙක්. දෙවන විත්තිකරු කැබිනට් අමාත්‍යවරයෙක්. ඔවුන්ට විශාල බලයක් පැවරී තිබෙනවා. මහජන මුදල් මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වගකීමකින් යුතුව යොදා ගැනීමේ බලයක් ඔවුන් වෙත පැවරී තිබෙනවා. ඔවුන් තමන් වෙත පැවරී ඇති වගකීම පසෙක ලා මහජන සුභසාධනය සඳහා යෙදවිය යුතු මුදල් වෙනත් ක්‍රියාවක යෙදවීම හරහා වරදක් සිදු කර තිබෙනවා. මෙවැනි ක්‍රියා නිසා රජයට විශාල පාඩුවක් සිදු වී රට බංකොලොත් වීමටත් හේතු වුණා. කැමති වුණත් අකමැති වුණත් අපි ඒක පිළිගත යුතු යි. විත්තිකරුවන් සිදුකළ ක්‍රියාව නිසා වින්දිතයින් බවට පත්වූණේ එක් පුද්ගලයෙක් නෙවෙයි. මුළු සමාජය ම වින්දිතයින් බවට පත් වී තිබෙනවා. මෙවැනි බලය අවභාවිත කළ පුද්ගලයින්ට නීතියෙන් ලබාදිය හැකි දැඩි දඬුවම් ලබාදිය යුතු යැයි මා ඉල්ලා සිටිනවා. මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින්ට බියක් දැනෙන ආකාරයේ දඬුවමක් නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දූෂණයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයින්ට අභිප්‍රේරණයක් ඇති වන ආකාරයේ දඬුවමක් ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. ඒ වගේම බලය වැරදි ලෙස ක්‍රියාවේ යෙදවීමට අපේක්ෂා කරන පුද්ගලයින්ටත් පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ තීන්දුවක් ලබාදෙන මෙන් මා ඉල්ලා සිටිනවා. සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබෙනවා තෝරු මෝරු සියල්ල නීතියෙන් බේරී යනවා හාල්මැස්සෝ විතරයි නීතියට අහුවෙන්නේ කියලා. ඒ නිසා ලොකු පොඩි සැමට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බව තහවුරු කළ හැකි නඩු තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේෂ් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් “රාජ්‍ය අයවැය තුළින් මහජන සුභසාධනය සඳහා වෙන්කළ මුදල් ප්‍රතිපාදන මෙම විත්තිකරුවන් මෙම වැරදි ක්‍රියාව සිදුකිරීම සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලි වෙනවා. විත්තිකරුවන්ගේ ක්‍රියාව නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. විත්තිකරුවන් පුද්ගලිකව ලාභයක් නොලැබුව ද ඔවුන් කළ ක්‍රියාව නිසා මහජන මුදල් අපතේ යාමක් සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා රටේ දේශීය හා විදේශීය ණය ගෙවීමට නොහැකි වී ආර්ථික පරිහානියක් ඇති වීමට ද හේතු වුණා. එම නිසා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින් අධෛර්යමත් වන ආකාරයේ තීන්දුවක් ලබා දිය යුතු බව අධිකරණයේ මතය යි. ඒ වගේ ම වැරදි උපදෙස් මත රාජ්‍ය නිලධාරින් ක්‍රියාත්මක නොවිය යුතු බව අවධාරණය කරන තීන්දුවක් ලබා දිය යුතු යි,” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පැය 24 පුරා පාස්පෝට් නිකුත් කිරීමේ සේවාව හෙටින් අවසන්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීමේ සේවාව හෙට (30) දිනයෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබූ, එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට ද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකියි.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදු කෙරෙනවා.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදු කරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 778 කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය‍ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින්, මෙම සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් සතියක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඇමති බිමල්ට එරෙහි චෝදනාවක් ගැන විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රේගුවේ බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල විසින් සිදුකර ඇති ‍චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා නීතීඥ නලීන් සම්පත් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ නිදහස් කරන ලද බහාලුම් තොගයේ ආයුධ තිබුණු බවට සැක පළ කරන බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සාමය වෙනුවෙන් යුද්ධ කළා නම්, ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට ගහන්න ඕන නෑනේ – සරත් ෆොන්සේකා

සෑම පාර්ශ්වයක්ම යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක රණවිරු සැමරුමේදී සිදුකළ ප්‍රකාශය තමන් අනුමත නොකරන බව ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා පවසනවා.

සාමය සඳහා ශ්‍රී මහා බෝධියට හෝ දළදා මාලිගාවට පහරදීමේ අවශ්‍යතාවක් නොවන බවත්, ප්‍රභාකරන් හැසිරුණු ආකාරය අනුව ඔහු යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවට කිසිවෙකුත් විශ්වාස නොකරන බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

හමුදාව පිරිස් බලයෙන් අඩු කිරීමට තමා එකඟ නොවන බවද, හමුදාව විසුරුවා හැර ඉතුරු කරන බිලියන 80 කින් පමණ රට හැදීමට නොහැකි බවද, තවත් ටික කාලයක් ගතවූ විට රෝහල්ද වසා දැමිය යුතු බවට ඔවුන් පවසනු ඇති බවද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.

රට තුළ මහජන ආරක්ෂාවේ හිඩැසක් පවතින බවත්, වෙඩි තැබීම් සිදුවන්නේ ඒවා වැළැක්වීමට ඇති ආයතනවල යම් දුර්වලතාවයක් තිබෙන නිසා බවත්, මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති දක්ෂ පුද්ගලයින් එම ආයතන භාරගත යුතු බවයි ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.