ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණු අතර, ඒ සඳහා වන පොලිස් කොමිසමේ අනුමැතිය ලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය මේ වනවිට මුලුමනින්ම පාලනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

වෙනදාට වඩා වැඩි බහාලුම් ප්‍රමාණයක් ලැබී තිබීම හේතුවෙන් තාවකාලික තදබදයක් ඇතිවූවත්, මේ වනවිට එය පාලනය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නොමැති බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඊයේ (27) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුදල් ප්‍රසම්පාදනය සහ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක කොටසක් ලෙස හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වූ අතර, රජයට මූල්‍යමය පාඩු සිදු කළේ යැයි ඔහුට එරෙහිව අල්ලස් කොමිසම දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.

1. ගුවන් ගමන් හැරවුම් අලාභය – 2014 ජනවාරි 22 වන දින, ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ UL319 ගුවන් යානය හරවා යවන ලද අතර, එමඟින් රජයට ඇමරිකානු ඩොලර් 4,512 ක මූල්‍යමය අලාභයක් සිදු කිරීම.

2. මගී හැරවුම් පාඩුව – 2014 ජනවාරි 26 වන දින, මාලදිවයිනේ සිට කොළඹ හරහා ප්‍රංශය දක්වා ගමන් කළ මගීන් 75 දෙනෙකු UL563 ගුවන් යානයෙන් පිටත් කර හරින ලදී. මෙම ක්‍රියාව හේතුවෙන් ඇමරිකානු ඩොලර් 19,160 ක අලාභයක් සිදු කිරීම.

3. රාජ්‍ය අරමුදල් අවභාවිතය – 2014 දෙසැම්බර් 19 වන දින, හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා කටුනායක 18 වන සැතපුම් කණුව ක්‍රීඩාංගණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 1.25 ක් භාවිතා කිරීම.

news images

ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට ආවේ, කොටි හිතවාදීන් මුණ ගැසීමට – විමල්

මෙරටට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් හමු‍වූයේ LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදය හා එම මතවාදය සමඟ තවදුරටත් කටයුතු කරන කොටස් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ඔහුව හමුවිම සඳහා මෙරට යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන්, විවිධ හේතූන් මත රටවල්වලට ඇතුළුවීම තහනම් කර ඇති ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් ඉල්ලීම් කර තිබූ බවත්, නමුත් ඔහුව හමුවීම සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලංකාවට පැමිණියේ කොටි හිතවාදීන් මුණ ගැසී, කොටි හිතවාදීන්ගේ වුවමනාව මත සකස් කරන ලද වාර්තාවකට ශ්‍රී ලංකාව හිර කිරීමේ අරමුණින් බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකාවට සාමය දිනාදුන් ආරක්ෂක හමුදා රණවිරුවන් හා ප්‍රධානීන් ගොදුරු කර ගැනීමේ ක්‍රියාන්විතයේ තීරණාත්මක පිම්ම පැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ලංකාවට පැමිණි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට වන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා – මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසනවා.

ඒ අනුව, රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙසට සිය සංචාරය අතරතුර රජයෙන් ඉල්ලා සිටි බවයි මෙරට සංචාරය අවසන් කරමින් ඊයේ (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට යෝජනා කර පවතින පනත් කෙටුම්පත ද ඉතා ඉක්මනින් සම්මත වනු ඇති බවට බලාපොරොත්තු වන බවත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 02ක් භාවිත කරන බවත්, පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, යම් ව්‍යාපාරයකට සුළු මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරන බවයි සඳහන් වෙන්නේ.

එහිදී ක්‍රමයෙන් විශ්වාසය දිනාගෙන තවත් විශාල ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කර, විශාල මුදල් ප්‍රමාණයන් ආයෝජනය කරවීමට පෙළඹවීම මගින් මුදල් වංචා කිරීම සිදුකරන බව සඳහන්.

දෙවැනි ක්‍රමය ලෙස, ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන, එම ගිණුම්වලට බැරවන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත්, ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරන බවත් සඳහන් කර මුදල් වංචා කරන බවයි සඳහන් වෙන්නේ.

Facebook, WhatsApp, Telegram, WeChat ආදී සමාජ මාධ්‍යජාලා හරහා විවිධ පුද්ගලයින් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීම‍ට ලබාදෙන Link හරහා නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසත්, තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහඳුනන පුද්ගලයින්ගෙන් තම බැංකු ගිණුම් වෙත ‍ලැබෙන මුදල් තෙවැනි පාර්ශ්වවල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීමක් සිදු නොකරන ලෙසයි පොලීසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම්‍දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොළඹ වරාය නගරය අසළ මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරයට අයත් මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන් හා රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු කළ ජනිදු චමෝද් නම් සිසුවෙක් මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින්, මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී, ‍මෙලෙස ඔහු අතුරුදහන්වී තිබුණා.

Twitter Killer එල්ලා මරා දමයි

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර, එවකට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු වයස අවුරුදු 15 – 26 අතර තරුණ පුද්ගලයින් 09 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.

Takahiro Shiraishi විසින් මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර, මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත්, තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙන ආ මත් කරල් තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් තිබූ මත් කරල් තොගයක් කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කන්දකුලිය, තුඩාව වෙරළට යාබද ස්ථානයක තිබී එම මත් කරල් තොගය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් විසින් මත් කරල් ලක්ෂ තුනකට අධික මෙම තොගය මෙරටට රැගෙනවිත්, පොලිතින් මළු 04ක අසුරා, අදාළ ස්ථානයේ සගවා පලා ගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙරළ සංරක්ෂණ අධිකාරිය හා පොලීසිය එක්වී අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ඉදිකිරීම් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයේ සිටි ව්‍යාපාරිකයින් ඇතුළු වෙළඳසැල් හිමියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ නමුත්, එම විරෝධතා මධ්‍යයේ එම වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර හිරිකැටිය වෙරළ තීරයේද අනවසර ඉදිකිරීම් ඉවත් කළ බවත්, ඒ ආකාරයෙන්ම වැලිගම වෙරළ තීරයේද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, වෙරළ තීරය පොදු මහජනයාගේ භාවිතය සඳහා පැවතිය යුතු බවත්, මෙම වැඩපිළිවෙල වැලිගම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති අයගේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සිදුකළ එකක් නොවන බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළබඩ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එහිදී පවසා සිටියේ.