ජනපති ජර්මනියේ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමු වෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක  අද (13) පෙරවරුවේ බර්ලින්හි වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේ දී සංචාරක සහ චාරිකා කර්මාන්ත සංගම් (Tourism and Travel Industry Associations) සහ බැහැර චාරිකා මෙහෙයවන්නන් (Outbound Travel/Tour Operators) සමඟ හමුවකට එක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසරභාවය වෙනුවෙන් රජය  ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා විශේෂයෙන් සංචාරක පහසුකම් වැඩි කිරීම, ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පෙන්වා දෙමින් තිරසාර සංචාරක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති බව සඳහන් කර තිබෙනවා.

එහිදී, සංචාරක කර්මාන්තයේ මානව සම්පත සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, සංස්කෘතික හා පාරිසරික සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, පරිසරය ආරක්ෂා කර ගැනීම ආදි කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

බෝම්බ බියක් නිසා Air India යානයක් ආපසු හරවයි

අද (13) උදෑසන බෝම්බ තර්ජනයක් පිළිබඳව වාර්තා වීමෙන් පසු තායිලන්තයේ ෆුකෙට් සිට නවදිල්ලිය බලා පිටත් වූ Air India ගුවන් යානයක් (AI379) ආපසු ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, ගුවන් යානයට ඇති බෝම්බ තර්ජනයක් පිළිබඳව යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 09:30ට ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කර තිබෙනවා.

ගුවන් යානය හදිසි ගොඩබෑමට අවසර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

මගීන් 156 දෙනෙකු රැගත් ගුවන් යානය එරට වේලාවෙන් උදෑසන 09:15 ට ගුවන්ගත වී ඇති අතර, එය උදෑසන 11:38ට ආරක්ෂිතව ගොඩ බස්වා තිබෙනවා.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම ප්‍රදේශවලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී 60-70 පමණ දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත්, නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඉන්දීය ගුවන් අනතුර : ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 242 ක් සමඟ ඉන්දියාවේ අහ්මදාබාද් හිදී ඊයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා.

<span style=’color:#e64d4d’><strong>නවතම තත්ත්වය පහතින් : 3.00 PM</strong></span>

* ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (13) උදෑසන අහමදාබාද් හි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කර තිබෙනවා.

* අනතුර සිදුවූ ස්ථානය නැරඹීමෙන් පසු, අග්‍රමාත්‍යවරයා රෝහල වෙත ගොස්, එහි තුවාල ලැබූවන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ අතර, අනතුරෙන් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් ද හමුවී තිබෙනවා.

* අනතුරින් දිවි ගලවාගත් රමේෂ් විශ්වස්කුමාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, තමන් නිරුපද්‍රිතව එළියට පැමිණියේ කෙසේදැයි තමන් නොදන්නා බවත්, අනතුර සිදුවන අවස්ථාවේ තමන් මිය යනු ඇති බවට සිතුනු බවත්, පසුව තමන් දෑස් විවරකර බලන විට තමන් ජීවතුන් අතර සිටි අතර, තමන්ගේ ආසන පටිය ඉවත් කර ඉවතට පැමිණි බවයි.

* ගුවන් අනතුරෙන් මියගිය මගීන් 241කගේ මළ සිරුරු මේ වන විට අහමදාබාද් හි රෝහලේ තැන්පත් කර ඇති අතර, ඇතැම් මළ සිරුරු මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

* අනතුර සිදුවූ ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

* ගුවන් යානයේ ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්දියා සමාගම සඳහන් කළා.

* යානය පැදවූ ප්‍රධාන නියමුවා වන කපිතාන් සුමීත් සබර්වාල් පැය 8200 ක පියාසර අත්දැකීම් ඇති නිලධාරියෙක් බවත්, මාස කීපයකින් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි බවයි සඳහන් වෙන්නේ.

news images

පාතාලය අවසන් කරන්න දඩුවමින් විතරක් බැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල….

https://youtube.com/watch?v=xKkgNP2Lo3U%3Fsi%3D7xmDnDshdDyibPNs

පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා – තිස්ස අත්තනායක

පොදු විපක්ෂය එක්වී පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අනුව මෙම සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවීමේ විපක්ෂයේ පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මුස්ලිම් පක්ෂ හා වතුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ මෙම පොදු එකඟතාව ඇති කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් තෝරාගන්නා ආකාරය අදාළ සභිකයින්ට මේ වන විටත් දැනුම් දී ඇති බවද, කොටසක් සමඟි ජන බලවේගයෙන් සහ කොටසක් පොදු විපක්ෂයෙන් තෝරා පත්කර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

පක්ෂය විසින් ගෙන ඇති තීරණවලට පිටින් කටයුතු කරන සභිකයින්ට එරෙහිව දැඩිව විනය පියවර ගැනීමට ද තීරණය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඉන්දියාවේ ගුවන් අනතුරට ජනපති ශෝකය පළ කරයි

ඉන්දියාවේ සිදු වූ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැඹුරු ශෝකජනක මොහොතේ, ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

එයාර් ඉන්දියා ගුවන් යානයේ (AI171) ඛේදජනක අනතුර ගැන මම දැඩි ලෙස කණගාටු වන බවත් යානයේ සිටි සියලු දෙනාගේ පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

news images