මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර අවදානම් නිවේදනය දීර්ඝ කෙරේ

මත්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6788e85b3bf84

කොහුවලදී වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කොහුවල පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවවි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පොඩි ලැසී මුම්බායි හිදී අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් තිබුණා.

වඩා හොඳ ගමනක් යාමට හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කරනවා – වසන්ත සමරසිංහ

සියලු ජනතාවට වඩා හොඳ ගමනක් යාමට හැකි අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

ඒ අනුව අයවැයෙන් රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශ සේවකයින්, පොදු මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සියලු දෙනාට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර වී අලෙවි මණ්ඩලය හා සතොස ඒකාබද්ධව මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන බවත්, ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් වන පරිදි එහි මිල ඉදිරියේදී ගැසට් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ ඇඟ කරන දේ ඔළුව දන්නේ නෑ, ඔළුව කරන දේ ඇඟ දන්නෙත් නෑ – දොලවත්ත

ලංකා ඉතිහාසයේ විශාල ජනවරමක් ලබාගෙන ඉතා ඉක්මනින් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසනවා.

ඔවුන් මෙලෙස වහසිබස් දොඩමින් සිටින්නේ ඉදිරි මැතිවරණවල පරාජය සඳහා අවබෝධයකින් තොරවද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුව තුළ ඇඟ කරන දේ ඔළුව නොදන්නා බවත්, ඔළුව කරන දේ ඇඟ නොදන්නා බවත් හොඳින් පැහැදිළි වන බවද, Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරුන් පරස්පර ප්‍රකාශ සිදු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩිදුරටත් සඳහන් කළේ.

මාසයක් වලංගු දුරකථ​න පැකේජ දවස් 20 න් ඉවරවෙනවා – කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය

දුරකථන පැකේජ සම්බන්ධයෙන් රජය සොයා බැලීමක් සිදුකළ යුතු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ, රජය අදාළ ගාස්තු වැඩි කරන ලෙස කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති අවස්ථාවක දුරකථන සමාගම් විසින් අදාළ පැකේජ ගාස්තු වැඩි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

මෙලෙස වැඩිකර ඇති ගාස්තුවලදී, නව සිම්පත් සහ පරණ සිම්පත් සඳහා ගාස්තු දෙයාකාරයට අය කරන බවත්, නව පාරිභෝගිකයෙක් සිම්පතක් මිලදීගත් පසු සාධාරණව වරප්‍රසාද හිමිකර ගැනීමට ඔහුට අයිතියක් ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම මාසයක් වලංගු බවට සඳහන් කරමින් දුරකථන සමාගම් විසින් අලෙවි කරන පැකේජ දවස් 20 න් පමණ අවසන් වන බවත්, දුරකථන සමාගම්වලින් රූපවාහිනි පැකේජ මිලදී ගැනීමේදී පාරිභෝගිකයා විසින් මිලදී ගත් පැකේජයට මාස කිහිපයක් ගිය පසු තවත් අලුත් නාලිකා කිහිපයක් එක්කර වැඩිපුර මුදල් අය කරන බවත්, මේවා සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සොයා බැලිය යුතු බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ.

දුරකථන සමාගම් කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරාගැනීමටද පටන්ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කළද කිසිදු පිළිතුරක් තවමත් නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස්, ඒකක 16,152.35 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දිනයේ ගනුදෙනු පිරිවැටුම ලෙස රුපියල් බිලියන 4.44 ක් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.

නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 864 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මීගමුව කලපු ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උර 29 ක අසුරා තිබුණු මෙම බීඩි කොළ තොගය තම භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එසේම ඩිංගි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වත්මන් පාලකයින් විසින් මග හරිමින් ඉන්නේ ලංකා ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ආණ්ඩුව බවට පත්වීමට ලැබුණු අවස්ථාවයි – සංජීව එදිරිමාන්න

වත්මන් පාලකයින් විසින් මග හරිමින් සිටින්නේ ලංකා ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ආණ්ඩුව බවට පත්වීමට තිබූ අවස්ථාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ආණ්ඩුවක් විසින් මුහුණදෙන විශේෂ දේශපාලන අර්බුදයක්, යුද්ධයක්, ස්වභාවික විපත් හෝ වසංගත නොමැති තැනක වත්මන් ආණ්ඩුව සිටින බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එවැනි කිසිදු අර්බුදයක් නොමැතිව, විශාල දේශපාලන බලයක් සහිතව පත්වූ වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව වේගයෙන් පිරිහෙන තැනකට පත්ව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිමෙන්ති සඳහා සෙස් බද්ද අඩුකිරීමේ යෝජනාවට අනුමැතිය

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර, එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පමණ අඩුවන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන්.