රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 554 ක් අතරින් 59 ක් මිය ගිහින් – විදේශ ඇමති

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රුසියානු හමුදාව සමඟ ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින අතර ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට එහි සිටින පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව එම දුම්රියවල තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්තනය කර ඇති අතර තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටවූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

කෝටි 06 කට අධික කේරළ ගංජා තොගයක් පොලිස් භාරයට

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන් හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී රුපියල් කෝටි 06 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සන්තකයේ කේරළ ගංජා කිලෝ 192 ක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

ලුණු මිල ඉහළට

ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වාත් ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වාත් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති අතර, මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රුපියල් 11,000 ​ක අල්ලසක් ගත් තැපැල් නිලධාරියෙකු​ට වසර 7 ක සිර දඬුවමක්

රුපියල් 11,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර 28 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යායුතු බවට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000 ක දඩයක් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000 ක් අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

කොළඹ ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති ලබන 10 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක, ලබන 10 වනදා සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති E Mohamed Bin Zayed Al Nahyan ගේ ආරාධනාවක් මත ජනාධිපතිවරයා “2025 ලෝක රාජ්‍ය සමුළුව” ට සහභාගී වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

එම සංචාරයේදී ජනාධිපතිවරයා “2025 ලෝක රාජ්‍ය සමුළුව” ඇමතීමට නියමිත අතර එරට ජනාධිපතිවරයා මෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහනිත්.

67a384db2e460pdf_page_0

ජනවාරි මාසය තුළ සංචාරකයින් 252,761 ක් මෙරට​ට

ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් ලෙසයි වාර්තාවී තිබෙන්නේ.

ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

67a36bc77a0capdf_page_0