තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කාම්බෝජයේ හිටපු නායක Hun Sen අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කිරීමක් සිදුකර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ එරට විරෝධතා ද ආරම්භ වී තිබුණු බවයි පැවසෙන්නේ.

ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතිනවා.

එම කාලය අතරතුර ඇයගේ සේවය අත්හිටුවීමට අධිකරණ විනිසුරු මඩුල්ල 7-2 ක් ලෙස ඡන්දය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර තායි නියෝජ්‍ය අගමැති Suriya Juangroongruangkit රටේ වැඩබලන නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අද (30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී අදාළ අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි‍.

2015 මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.

එමෙන්ම, රුපියල් මිලියන 25 – 50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත් අඩංගුවට ගෙන, පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා,

නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයින් 08 දෙනා සමග, ඔවුන් පැමිණි යාත්‍රාවක් ද, දැල් ආම්පන්න ද මසුන් විශාල ප්‍රමාණයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා‍.

නිසි තොරතුරු සටහන් කර නොමැති ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා – පාරිභෝගික අධිකාරිය

නිසි ආකාරයෙන් තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු, සිල්ලර මිල ආදිය සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද, එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් හට දන්වා සිටිනවා.

නිසි තොරතුරු සඳහන් නොවන ලුණු නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස දැනුම් දෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාස​යේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව පසු කළා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 260 කට වඩා ඉහළ යාමකින් පසු ඒකක 18,016.35ක් ලෙස සටහන් වී තිබුණා.

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් හබරණදී අත්අඩංගුවට

හබරණ, හතරැස් කොටුව පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් ඊයේ (29) පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් අත්අඩංගුවට ගනු ලැබුවා.

C4 වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් එම ලොරි රථයේ තිබී සොයාගෙන ඇති බවයි හබරණ පොලීසිය පැවසුවේ.

අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී රියදුරු අසුන ළඟ තිබෙන ඩෑෂ් බෝඩ් එක යට තිබී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, රථයේ මෙම පුපුරණ ද්‍රව්‍ය තිබුණත් ඒ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත්, කිසිවෙකු විසින් තමුන්ට හොරෙන් මේවා එහි සඟවන්නට ඇති බවත් රථයේ රියදුරා විසින් පොලිසියට පවසා ඇති බවයි සඳහන් වන්නේ.

ගාල්ල, ලබුදූව ප්‍රදේශයේ සිට කන්තලේ දක්වා ධාවනය කර ඇති අදාළ ලොරි රථයේ රියදුරු 59 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලොරි රථය අද (30) බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හබරණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

කතරගම පූජා නගරයේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පැවරේ

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කළ වෙළඳසැල් 32 කට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ මෙම පරික්ෂා කිරීම් සඳහා කණ්ඩායම් 05 ක් යොදවා තිබුණු බවයි සඳහන් වන්නේ.

එහිදී වෙළෙඳසැල් 75 ක් පරික්ෂා කළ බවත්, භාවිතය තහනම් කර ඇති පොලිතීන් මල් මාලා, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග ආදිය සොයාගත් බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ‍.

දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල් මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ භාර නොගැනීමට කටයුතු කරන ලෙස කපු මහතුන් දැනුවත් කර ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් පනවන බවට නිවේදනය කර ඇති බවත්, එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කැනඩාව විසින් කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු අය කරගෙන ඇති බවත්, කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවද, ඉදිරි දින 07 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

news images