Story & videography by Nirasha Piyawadani
ලොව පුරා සිය රස පතුරවමින් සිලෝන් ටී පිපාසිත සිත් සුවපත් කළද ඒ රසය පිටුපස තිත්ත කතා බොහොමයක් නිර්මාණය වී ඇත. ඒ තේ වතු කම්කරුවන් දශක ගණනක් පුරා පීඩා විදින ගැටළු හේතුවෙනි.
එදා මෙදාතුර මෙරට අවම වරප්‍රසාද ලත් පන්තියක් ලෙසින් වතු කම්කරු ප්‍රජාව මුහුණ දෙන බරපතල අභියෝග අතර අද දුම් දමන මාතෘකාව වී ඇත්තේ වැටුප් ප්රශ්නය වුවද ඔවුන් මුහුණ දෙන එකම ගැටළුව එය පමණක් නොවේ. සනීපාරක්ෂාව, නිසි අධ්‍යාපනය, නිවාස හා විදුලි බලය යන පහසුකම් සෑහීමට පත් විය නොහැකි තත්වයක පැවතීම හා මන්ද පෝෂණයෙන් පෙලීම වැනි ගැටළු හේතුවෙනි.
ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වතු ප්‍රජාව ඉලක්ක කරගනිමින් පැවති පුහුණු වැඩමුළුවකදී මේ පිළිබද සිය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි. “සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන නමුත් තවමත් විශේෂයෙන් වතු ප්‍රජාව තුළත් ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම පාසල්වලටත් මන්ද පෝෂණය බරපතල සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. රට තුළ සමස්ත පෝෂණ තත්වය සෑහීමට පත්විය හැකි මට්ටමකට රැගෙන ඒම සදහා ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. ”
මෙරට වතු කම්කරු ප්‍රජාව ලක්ෂ 2ක් පමණ වෙති. ඔවුන්ගෙන් බොහොමයක් පිරිස් තවමත් දිවි ගෙවන්නේ අවම පහසුකම්වත් පූර්ණය නොකළ ලයින් කාමරවලය. වාර්තා වන අන්දමට වතුකර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වතු වෘත්තීය සමිති ගණන 90ක් පමණ වේ. නමුත් ක්‍රියාකාරීව කරලියට පැමිණ සිටින්නේ ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් පමණි. ලංකා ජාතික වතු කම්කරු සංගමය ඒ අතරින් නිතර අසන්නට ලැබෙන නම් දෙකකි.
කොතෙක් වෘත්තීය සමිති බිහි වුවද වතුකම්කරුවා මුහුණ දෙන ජනප්‍රිය නොවූ ගැටළු ගැන කතා බහට ලක් වෙන එකම වේදිකාවක්වත් නැති තරම්ය.
මීරීයබැද්ද ඛේදවාචකය
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද මීරිය බැද්ද ග්‍රාමය ද වතුකම්කරු ප්‍රජාව බහුලව වෙසෙන ප්රදේශයකි. 2014 වසරේ ඔක්තෝබර් මස 29වැනි දින සිදු වූ මීරිය බැද්ද නාය යාම මෙරට සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යවසනයක් වශයෙන් ඉතිහාසයට එක් වූයේ මිනිස් ජීවිත 37ක් බිලි ගිනිමිනි. ඉතිරි වූ පවුල් අතරින් පවුල් 112ක් මේ වන විටත් ආරක්ෂිත ප්‍රදේශවලින් නිවාස ලැබී නොමැතිව පීඩා විදිති. ඔවුන්ගේ නිවාසවල නාය යාමට පෙර විදුලි බලය ලබාගෙන තිබුණද නාය යාමෙන් පසු මොවුන්ට වෙනත් ප්‍රදේශයකින් නිවාස ලබා දෙන බවත් එනිසා මෙම විදුලි බල සැපයුම් පද්ධති අනවශ්‍ය බවත් බවසමින් අදාල බලධාරීන් ඒවා ගලවා ඉවත් කරගෙන ගොස් ඇත.
නාය යාම සිදු වී වසර 4කටත් අධික කාලයක් ගත වී තිබුණ ද ඔවුනට නව නිවාස හෝ දැනට වෙසෙන පැරණි නිවාස සතුව තිබූ විදුලි බලය හෝ ලැබී නොමැත.
වතුකම්කරුවෙකුගේ දිනක වැටුප සහ නව සාමූහික ගිවිසුම
වතුකම්කරුවෙකුගේ දිනක වැටුප පෙරදී රු.500කි. ඊට අමතරව ඔවුන් සදහා වීශේෂ නිෂ්පාදන දීමනාව ලෙස රැපියල් 140ක් පැමිණීමේ දීමනාව ලෙස තවත් රුපියල් 60ක් ලබා දී තිබේ. මීට අමතරව කඩන තේ දළු කිලෝවක් සදහා රැග25ක දීමනාවක් ද ගෙවා ඇත. ඒ අනුව වතු කම්කරුවෙකුට මෙම නව ගිවිසුම අත්සන් කිරීමට පෙර ද රු.730/-කට ආසන්න වැටුපක් හිමි වී ඇත. නමුත් නව සාමූහික ගිවිසුමට අනුව වතු කම්කරුවන් වෙත ගෙවූ රු.140ක සහ රු.60ක දීමනාව කප්පාදු කර ඇත බව නව සාමූහික ගිවිසුමට විරුද්ධව හඩ නගන වතු කම්කරුවෝ පවසති. මෙම සාමූහික ගිවිසුමට වතු වෘත්තීය සමුළුව අත්සන් තබා නොමැති ප්‍රධානම හේතුවද එයයි.
නව සාමූහික ගිවිසුම මගින් තේ දළු නෙලන කම්කරුවෙකු වැඩිපුර කඩන තේ කිලෝවක් සදහා ගෙවන රුපියල් 25ක මුදල රැපියල් 40 දක්වා වැඩි කිරීම වතු වෘත්තීය සමිති අනුමත කරති. නමුදු ප්‍රධාන තේ සමාගම්වල වර්තමානයේ තේ දලු හිග වීම සහ කාල ගුණික සාධක මත වසරේ සෑම දිනකම තේ දලු නෙලීමේ රාජකාරිය නොමැතිවීම යන කරුණු හේතුවෙන් දිනකට කඩන තේ දලු කිලෝ 18ක සීමාව පසු කිරීම ඉතා දුෂ්කර වී ඇත.
වතුකම්කරුවන්ගේ පාර්ශවගේ දුක් ගැනවිල්ල එසේ වන විට වතු හාම්පුතුන්ගේ පාර්ශවය පවසා සිටින්නේ වතු කම්කරුවන්ට දිනකට 1000ක් ගෙවීමට තරම් ආදායමක් වර්තමානයේ තමන්ට නොලැබෙන බවය. ඒ අතර ඇතැම් වතු හිමිකරුවන් වතු කම්කරුවෙකුගේ දිනෙක වැටුප රුපියල් 855ක් දක්වා වැඩි කර ඇති බව පවසති. ඔවුන් එය සිදු කර ඇත්තේ නව වැටුප් ඉහළ යාමට අදාලව සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් සදහා වැටුපෙන් ඉවත් කෙරෙන රු.105ක මුදල රුපියල් 750ට එකතු කිරීමෙනි.