By නිරාශා පියවදනි
කේතුමතියේ මනරංජන වැඩවර්ජන උද්ඝෝෂණ නිමක් නැත. හතර දෙසින්ම ඇසෙන්නේ ඉල්ලීම් සහ අයිතීන් වෙනුවෙන් සටන් වැදෙන විප්ලවවාදින්ගේ ඝෝෂාවන්ය.
මේ කියන්නේද උද්ඝේෂණයක් ගැන කතාන්දරයක් බව සැබෑය. එහෙත් මේ අපූරු උද්ඝෝෂකයන් සිය වටිනා කාලය හා ශ්‍රමය කැප කරමින් පෙළ ගැසුනේ තමන්ගේ ඉල්ලීම් හෝ අයිතීන් වෙනුවෙන්නම් නොවේ. ඉල්ලීම් තබා බෙල්ල මිරිකා මරා දමා ගියත් කට අරින්නට අයිතියක් නැති අන්ත අසරණයින් පිරිසකගේ හදතුළ නැගෙන වේදනාවට හඩක් වෙනුවෙනි.
වෙඩි කා හෝ වස කවීමෙන් පණ අදින ඒ අසරණ හදවත් වලට දැනෙන වේදනාව තම හදවතින් නිශ්චය කරමින් බැනර් සහ පුවරුවලට අකුරු කරගත් විසල් පිරිසක් මැයි 06 වන දින කොළඹ 07 නිදහස් චතුරශ්‍රයට පෙල ගැසුණු අයුරු පින්බර දසුනක්ම විය.
මහ මග පෑගෙන දූවිල්ලක් තරමට මායිමට ලක් නොවෙන වීදි සුනඛයන් රහසේ මරා දැමෙන ඛේදාන්තය මේ පුන්‍ය භූමියට අලුත්ම අලුත් නාටකයක් නොවේ. නමුත් හදවත් ඇත්තන්ගේ ඝර්ජනාවලට පින් සිදු වන්නට එය කලක් පුරා නැවතී තිබූණි.නැවතී ඇති බවක් පිටතට පෙනෙන්නට තිබුණද යළි යළිත් ඒ අප්‍රසන්න උපායවල් වරින් වර වාර්තා වන විට මනුෂ්‍යත්වයේ සැබෑ හිමිකරුවන්එ හට තවත් ඇස් කන් පියාගෙන සිටීමට නොහැකි විය.
එවැනි උතුම් මිනිස් දියණියක වන මනොජා වීරකෝන් මේ අපූරු උද්ඝෝෂණයේ සුල මුල අවධි කළේ මෙලෙසිනි.
” අපි සෑහෙන කාලයක ඉදන් මේ වීදි සුනඛයන් ආරක්ෂා කරන වැඩ පිළිවෙලවල් අපිට හැකි අයුරින් කළා. පසුගිය දවස්වල ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසු සිසුවියන් පිරිසක් සරසවි බිමේ ජීවත් වෙනවීදි සුනඛයන් කිහිප දෙනෙක් තමන්ගේ පෞද්ගලික වියදම් දරාගෙන අවශ්‍ය එන්නත් වර්ග ලබා දීලා කෑම බීම දෙමින් හොදින් රැක බලාගෙන තිබෙනවා. පසුව ඇසින් දුටු සාක්ෂි සහිතව ඔවුන්ට දකින්න ලැබිලා තියනවා වාහනයකින් ඇවිත් මේ සතුන් රැගෙන ගොස් ඇති අයුරු. එහෙම අරන් යන්නෙ බොහෝ දුරටම මරන්න මිසක් නිවාස සොයා දීලා ඔවුන්ව රැක ගන්න නෙවෙයි. මේ එක සිදුවීමක් විතරයි.මෙවැනි සිදුවීම ්ගොඩක් වාර්තා වෙනවා අපිට.
අපි මේ වන විට සොයාගෙන යනවා මේ විදිහට අහිංසක සුනඛයන් මරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද සහ ගත හැකි නීතිමය පියවර මොනවද කියලා.
සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. ඒත් ඔවුන්ගේ අයීතීන් කඩ කරනකොට ඒ වෙනුවෙන් නීතිමය පියවර ගන්න උසාවි ගානෙ යන්න අඩුම තරමෙ මෙහෙම කරන්න එපා කියලා කෑ ගහලා කියන්නවත් ඔවුන්ට ශක්තියක් නැහැ. මිනිසුන් ලෙස එවැනි අසරණ සතුන් මරා දැමීම ගැන ලජ්ජා විය යුතුයි. මහජනයාට කරදරයක් නොවන ලෙස ඔවුන්ව රැක ගත හැකි ක්‍රම ඕනතරම් තිබෙනවා.”
අතට හසුවෙන දෙයක් කා ජීවිතේ ගැට ගසා ගන්නට වෙර දරන වීදි සුනඛයන් දෛනිකව මුහුණ දෙන දහසකුත් හිරිහැර නිමක් නැත.දුටු සැණින් සිත් ඇදගන්නා ප්‍රිය මනාප පෙනුමවත් උරුම කර ගැනීමට පින් නොකළ මේ අසරණයන් හදා වඩා ගැනීමට බහුතර අපේ සිත් නොදෙන්නේ පිරිපුන් රූපයට නොසෑහෙන ලෙස ඇතුළත හිස් නිසා වන්නට ඇත.
එහෙත් භාග්‍යයකට මෙන් මනුසත් බවින් ඇතුළාන්තය පිරි මෙවන් මිනිසුන් මිහිමත වෙසෙනතාක්කල් ඔවුන්ගේ ඉරණම එතරම්ම අවසනාවන්ත නැත.
මෙවැනි උතුම් උද්ඝෝෂකයන්ට බොස්ටන් ලංකා ඉඩ හසර විවර වන්නේ නිතැතිනි. දිවයිනේ කුමන හෝ කෙළවරක මෙැනි සද් ක්‍රියාවක් සිදු වන්නේනම් bostonlankanew@gmail.com හරා ඒ අපිළිබද අපව දැනුවත් කරන්න අමතක කරන්න එපා.
විශේෂ ස්තුතිය – ඡායාරූප සහ සම්බන්ධීකරණයෙන් සහය වූ විනෝද් ඛන්නා සොහොයුරාට