By Sanka Rambukwella
” මචං කොළඹ සමාජ තත්ත්වය අනූව තමයි කෙනෙක් පොෂ් ද නැද්ද කියලා කියන්නේ.
සමහරවිට සමාජ තත්ත්වය තීරණය කරන්නේ එක පරම්පරාවකින් නෙවෙයි.පරම්පරා කීපයක් ආපස්සට බලනවා,
උඹට උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්…හිතපන් මම දැන් රෝයල් එකට යනවා,ඊට පස්සේ අපේ අම්මයි තාත්තයි ඉස්කෝලේ ගියේ කොහෙද බලනවා,ඊටත් පස්සේ සමහර විට ආච්චී සීයයි ඉස්කෝලේ ගියේ කොහෙදත් බලනවා” කියලා කොළඹ පොෂ් ජීවිත ගැන මගේ යාළුවෙක් මේ ළඟදි දවසක මට කියාගෙන කියාගෙන යනවා.
එහෙම පරම්පරා ගාණක් ගැන සැලකිල්ලක් දක්වලාලු කොළඹ පොෂ් මට්ටමේ මිනිස්සු නිර්මාණය වෙන්නේ කියලා ඔහු කියද්දී කවදාවත් මම පොෂ් පොරක් නම් වෙන්න වෙන්නේ නෑ කියලා මට හිතුණා…..මට නෙවෙයි මගේ ළමයෙක්ට වත් පොෂ් පෝරක් වෙන්න බෑ කොළඹ.
මොකද පොඩි එකාව මම කොළඹ ලොකු ඉස්කෝලෙකට දැම්මත් මම ගියේ ගමේ ඉස්කෝලෙට ! ඉතින් පොඩි එකා එතනම ඩවුන් !
කෙනෙක්ට කොළඹ ගැන පැහැදිලි චිත්‍රයක් ගන්න ඕනනම් ඒ මනුස්සයාට ගොඩ වදින්න සුදුසුම තැන තමයි කොළඹ කොටුව ගුණසිංහ පුර බස් ස්ටෑන්ඩ් එක.ඔබට උදේ පාන්දර දෙකට තුනට ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට යන්න පුළුවන්නම් එක්දහස් නවසිය පනස් ගණන්වල කළුසුදු චිත්‍රපටියක රූපරාමු සජීවීව නරඹන්න පුළුවන්.
බස් ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන තැනින් පටන්ගත්තම අවසාන වෙන තැන දක්වා සියලුම හෝල්ට් යට ගැහැණු පිරිමි බේදයකින් තොරව මිනිස්සු තැන තැන වැටිලා නිදි.මහවැස්ස වැටිලා හෝල්ට් එකේ වතුර හෝ ගාලා ගැලුවත් ඒ ජීවිත ඒ නින්දෙන් ඇහැරෙන පාටක් පේන්න නැති නිසා මම සමහර මිනිස්සුන්ගේ ඇඟට උඩින් පැනලා වගේම සමහර මිනිස්සු මඟහැරලා නිල් පාටටට එකට එකතු කරලා තිබුණ පුටු පේලියේ මැද පුටුවක වාඩි වුණා.
එහෙම වාඩි වුණ මට කෙලින්ම පේන්නේ ඉලෙක්ට්‍රෝනික් විදිහට රී ලෝඩ් දාන ජංගම උපකරණය.ඊට එහාපැත්තෙන් ඕස්ට්‍රේලියාවේ ඇපල්,දොඩම් විකුණන ජංගම වෙළඳ සැල.
එකකට එකක් බැඳුණ එහෙත් එකකට එකක් නොගැලපෙන දේ සෑහෙන්න තියෙන බස් ස්ටෑන්ඩ් එකේ වම් පැත්තෙන් “රූං” ගාලා ආව රූං පෙත්තක් මගේ කකුල් දෙක ගාව වැටුණා.
මම ඒක අහිදින්න නැමෙනකොටම කලිසමක් වත් නැති පොඩි එකෙක් දුවගෙන ඇවිල්ලා ඒ රූං පෙත්ත අහුලගෙන ගියා…..
ඊට විනාඩියකින් දෙකකින් ආයෙත් මේ කොල්ලා දුවගෙන ඇවිල්ලා රූං පෙත්ත අහුලගෙන යනවා.
දිගින් දිගටම මේ දේ වෙන නිසා වෙන්නේ මොකක්ද කියලා බැලුව මට හෝල්ට් ඒකේ අයිනට වෙන්න ඉන්න තාවකාලික පවුලක් දැක්කා. ඒ පුංචිම පුංචි හෝල්ට් මුල්ලේ පුංචි එවුන් දෙන්නෙක් තරඟෙට රූං පෙති යවනවා.
පොඩි උන් දෙන්නා යවන රූං පෙති සමහර වෙලාවට ඈතින් ඈතටම යනවා. තවත් ඒවා එහෙ මෙහෙ ඇවිදින මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා බිම වැටෙනවා.ඒත් ඒ පොඩි උන් දෙන්නාට වගේ වගක්වත් නැතිව රූං පෙත්ත ගොඩක් දුර ගියාම පෙන්නන හිනාවම රූං පෙත්ත එකම තැන බිම වැටෙනකොටත් පෙන්නනවා.
ඔබට අහන්න පුළුවන් රූං පෙත්තකින් කරන්න පුළුවන් මළ ඉලව්ව මොකක්ද කියලා.රූං පෙත්තකින් ඒ පොඩි උන් දෙන්නට පොෂ් වෙන්න බෑ..
රූං පෙත්තක් යවපු ජීවිතයකට කවදාවත් කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න බැරි වෙයි,කිසිම අවස්ථාවක තමන්ගේ නිකැලැල් පරම්පරාවක් පිළිබඳව අදහසක් අරන් පෙන්නන්න කවදාවත්ම බැරිවේවී.
ඒත් ගොඩක් අමාරුවෙන් පෙන්නන්න හදන පොෂ් ජීවිතයකට වඩා ඒ මොහොතේ ලැබෙන සතුට ගැන ලොකු පාඩමක් බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා ඒ පුංචි උන් දෙන්නා ඉගෙනගනීවී.
ජීවිතේ සතුට තියෙන්නේ සල්ලිවලවල ,සමාජ තත්ත්වයේ කියලා ගොඩක් දෙනා හිතුවට ඇත්තම සතුට තියෙන්නේ, සතුටුවෙන්න ලැබෙන අවස්ථාව යොදාගන්න විදිහෙන් කියලා පොඩි උන් දෙන්නගෙන් පාඩමක් ඉගෙන ගන්න ගමන් මම 190 බස් එක ගන්න පුටුවෙන් නැගිටලා පාවෙන වෙළඳ සංකීර්ණය පැත්තට යන්න ගියා…….
සංඛ රඹුක්වැල්ල
(Sanka Rambukwella: m_sankarambukwella@yahoo.com )