වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් වලට එරෙහිව නීතිමය පියවර

rice-for-sale-

වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට තමා නියෝග කළබව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පැවසීය.

ඒ අනුව සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳ සැල් සහ ගබඩා පරීක්ෂා කර අද සිට නීතිය තදින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

හෙතෙම මේ බව කියා සිටියේ අද (පෙබරවාරි 13) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහල් කිලෝ එකක් රුපියල් 66.00ට දිය යුතු බවට තීරණය කළ බවත් වෙළෙන්දන් පැත්තෙන්  සළකා බලා සහල් ආනයනයේ දී තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළ බවත් එම අවස්ථාවේ දී වෙළෙන්දන් තමන්ට  රුපියල් 75.00 බැගින් පමණක් දිය හැකි බව සදහන් කල බවත් හෙතෙම කීය.

නැවත තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කර බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළ බවද ඒ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම සහල් සදහා පාලන මිලක්  තිබෙන බවත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි නොකරන බවත් ඔවුන් සහල් වැඩි මිලට විකුණන බවත් හෙතෙම පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රජයට සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා සහල් ආනයනය නොකළ බවයි. නමුත් ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා නම් සහල් තොග ආනයනය කිරීමට නොපමාව කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා යැයිද සතොස මගින්  පාරිභෝගිකයන්ට පාලන මිලට එනම් උපරිම රුපියල් 66.00 බැගින් සතොස ශාඛා මගින් මිලදී ගත හැකි යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.