දේශපාලන බලපෑම්, පාතාල තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා, කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩකාමරවල බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ වාහන නැවැත්වීමේ අංගනවල ආදායම් රැස්කිරීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි විය.
මෙහිදී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් කරුණු රැසක් අනාවරණය කරනු ලැබීය.
ඔහු පෙන්වා දුන්නේ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පු 113ක් ඉකුත් දෙසැම්බර් 31 වනවිට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදල් ගෙවා නොමැති බවය.
එමෙන්ම කඩකාමර 2ක් රුපියල් 100කටත් වඩා අඩු මුදලකටද, තවත් කඩකාමර 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකටද ලබා දී ඇති බවත් පැවසීය.
තවත් කඩකාමර 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලී පදනමකට ලබා දී ඇති අතර, ඉන් කඩකාමර 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර 1 සිට 35 දක්වා දීර්ඝ කාලයක් ගත වී ඇති බවත් පෙන්වා දුන්නේය.
මීට පිළිතුරු දෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා සඳහන් කළේ, මෙම කඩ කුලී හිමියන් 1980 දශකයේදී ගිවිසුම්ගත වූවන් බවයි.
කෙසේ වෙතත්, අදාළ ගිවිසුම් වහාම සංශෝධනය කිරීමට හා යාවත්කාලීන කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය.
“නිවාස අධිකාරිය වසරේ දින 365ම කරලා තියෙන්නේ ඉඩම් දන්සල් දීමක්. මෙය මහා අපරාධයක්…” යනුවෙන් මේ සඳහා එක්ව සිට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පැවසීය.
බදු ගිවිසුම් මෙලෙස යාවත්කාලීන නොවීමට බලපෑ හේතු පැහැදිලි කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා කියා සිටියේ, මෙහි සම්පූර්ණ වරද නිලධාරීන් පිට පැටවිය නොහැකි බවය.
ඒ සඳහා ප්‍රධාන හේතු 3ක් බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන බලපෑම්, පාතාල කල්ලිවලින් එල්ල වූ තර්ජන, ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් ඇති බව පැවසීය.
මෙලෙස වංචනික ලෙස කටයුතු කළ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

