අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.
මෙම හමුව සඳහා අතිපූජ්‍ය ෆ්‍රා ධම්මවජිරපණ්‍යාචාර්ය මහථෙර හිමි, වට් ෆ්‍රා චෙතුෆොන් විමොල්මංග්කලාරාම් රාජවරමහාවිහාරයේ නියෝජ්‍ය විහාරාධිපතිවරයා, මහාචුලාලොංකෝර්න්රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හිමියන් ඇතුළු තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් සහභාගී වූහ.
හමුවේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ශතවර්ෂ ගණනාවක බෞද්ධ සම්බන්ධතා, ආගමික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ සුහද අදහස් හුවමාරුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.
සාකච්ඡාව අවසානයේදී තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් විසින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණ හා සිහිවටන අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී.
එම සමරු තිළිණ දෙරටේ පොදු බෞද්ධ උරුමය, සංස්කෘතික වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මැනවින් පිළිබිඹු කරන සංකේතයන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

