17 හැවිරිදි පාසල් සිසුවෙකුට මරණීය තර්ජන එල්ල කරමින්, ඔහු ලවා මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙරළබඩ පොලිසිය සමත්ව තිබේ.
මෙහිදී පොලිසිය විසින් සැකකාර පාසල් සිසුවා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 120ක් සහ ජාවාරමෙන් උපයන ලද රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද පොලිස් සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ වෙරළබඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපේක්ෂ කලංසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් නව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි අවස්ථාවේදි සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සිසුවා පරික්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබූ ඉටි බෑගයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබූ විශාල මුදල් නෝට්ටු තොගයක් හමුවීමත් සමග ඇති වූ දැඩි සැකය මත සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
පසුව සිදුකළ සිරුර සෝදිසි කිරීමේදී, ඔහු ඇඳ සිටි යට ඇඳුමේ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙතෙක් අනාවරණය නොවූ සංවේදී තොරතුරු රැසක් හෙළි වී තිබේ.
සැකකාර සිසුවාගේ මවුපියන් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආපනශාලාවක් පවත්වාගෙන යන අතර, නිවසේ රැඳී සිටින්නේ ඔහු සහ ඔහුගේ බාල නැඟණිය පමණි.
මීට මාස කිහිපයකට ඉහතදී පාසල් ගොස් නිවස බලා පැමිණෙමින් සිටි මෙම සිසුවා ඉදිරියට පැමිණි නාඳුනන පුද්ගලයකු, සිසුවාට මරණීය තර්ජන කර තිබේ.
පසුව සිසුවාගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇති එම පුද්ගලයා, ඔහුට පාර්සලයක් ලබාදී එය නිවසේ සඟවා තබන ලෙස බලකර ඇත.
දුරකථන ඇමතුම් මඟින් ලැබෙන උපදෙස් පරිදි අදාළ පාර්සල් මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ පෑලියගොඩ ආදී ප්‍රදේශවලට රැගෙන යන ලෙස සිසුවාට නියෝග ලැබී ඇත.
මරණ බිය හේතුවෙන් තමන් කිසිදු දිනක එම පාර්සල් විවෘත කර නොබැලූ බව සිසුවා පොලිසිය හමුවේ පවසා තිබේ.
මෙම ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ජාවාරම්කරුවන් විසින් සිසුවාට වරින් වර විවිධ මුදල් ප්‍රමාණයන් ලබා දී ඇත. එම මුදල් වැය කරමින් තමන් කොත්තු රොටි වැනි ආහාර වර්ග මිලදී ගෙන අනුභව කළ බව සිසුවා ප්‍රකාශ කර ඇත.
පොලිස් භාරයට ගත් මුදල් බෑගය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු විසින් එම මුදල් බෑගය සිසුවා වෙත ලබාදී, ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය පැකට්ටුව ශරීරයේ සඟවාගෙන යන ලෙස උපදෙස් දුන් බවය.
මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපනයට දක්ෂ සිසුවෙකි. ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ‘ඒ’ (A) සාමාර්ථයක් සහ ‘බී’ (B) සාමාර්ථ දෙකක් ඇතුළුව විභාගය සමත් වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර සිසුවා වෙරළබඩ, විවේකානන්ද මාවතේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

