ක්‍රිකට් ක්‍රීඩාවේ සදානුස්මරණීය තරුවක් බඳු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට උපහාර දැක්වීමක් ලෙස අද (18) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන LPL තරග ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
එසේම ඒ මහතාට ගෞරව දැක්වීමක් වශයෙන් අද දින තරගවලට සහභාගී වන සියලුම කණ්ඩායම්වල ක්‍රීඩකයින් කළු පැහැති අත්පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සංවේගය පළකර නිවේදනයක් නිකුත්කරමින් මේ බව දන්වා සිටියේය.
අදාළ නිවේදනයෙන් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දන්වා සිටියේ, ශ්‍රීමත් ගැරී සෝබර්ස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමග අතිශය විශේෂ වූත්, දිගුකාලීන වූත් සබැඳියාවක් පැවැත්වූ විශිෂ්ටයෙකු බවය.
විශේෂයෙන්ම 1980 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ මහතා, 1983 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට මඟ පෙන්වනු ලැබූ බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සෝබර්ස් මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වැඩිදුරටත් දන්වා ඇත්තේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු තබා ගිය අතිවිශිෂ්ට උරුමය පරම්පරා ගණනාවක ක්‍රීඩකයින් දිරිමත් කිරීමට සමත් වනු ඇති බවය.

