රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි……

News Iamges.00_00_00_09.Still3162

රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් සඳහා අද (15)  ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය යළි ගොඩබස්වා තිබේ.

ඉන් අනතුරුව සිදුකළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ මෙන්ම තවත් කොටස් කිහිපයකම සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී ඇති බවය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව දන්වා සිටියේ, ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් බැවින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇත.

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක්ය.

ඒ අනුව කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීන වරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතුකර තිබේ.

එබැවින් ගුවන්ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ගුවන් ධාවන පථ සහ ගුවන්තොටුපළ අවට පදිංචි ජනතාවගෙන් එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ගුවන් හමුදාව ඉල්ලා සිටී.