යාපනය ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස්, නිරුවත් කර අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් තියුණු කඩු සහ මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 5 වනදා යාපනය හින්දු විද්‍යාලය අසලදී මෙම පස්දෙනෙකුගෙන් යුත් කල්ලිය විසින් තරුණයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.
පසුව ඔහුව රහසිගත ස්ථානයකට රැගෙන ගොස්, ඇඳුම් ගලවා නිරුවත් කර දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති බව සඳහන් වෙයි.
අනතුරුව බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය බොස්කෝ පාසල අසලට ගෙනවිත් දමා මෙම කල්ලිය පළාගොස් තිබේ.
බුද්ධි තොරතුරු මත තුවාල ලැබූ තරුණයා සොයාගත් පොලීසිය ඔහුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇත.
සිද්ධියෙන් පසු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ධාවනය වූ මෝටර් රථයකට නැවතීමට සංඥා කර ඇති අතර, එය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කර තිබේ.
ඒ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මෝටර් රථය ලුහුබැඳ ගොස් එය වටලා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙම මෝටර් රථය යාපනයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගමකට අයත් එකක් බවට පොලීසිය සැක කරනු ලබයි.
මේ අතර, සැලසුම් සහගත කඩු කැපීමේ සිදුවීම් සඳහා භාවිත කරන තියුණු කඩු 2ක් , මෝටර් රථයේ දොරවල් සහ ආසනවල තිබූ පැහැදිලි ලේ පැල්ලම් සහ ලේ තැවරුණු ඇඳුමක්, සැකකරුවන් සන්තකයේ තිබූ ග්‍රෑම් 2.5ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක යටතේ යාපනය අපරාධ වැළැක්වීමේ ඒකකය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව සඳහන් වෙයි.

