2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, අද (17) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී එම නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද පටිගත කර ඇති බවය.
“ස්වාමීනි… එල් පී.එල් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව භානුක රාජපක්ෂ, දුලිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයින් කීපදෙනෙකුට මොහු තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව බාන්ස් කැෆේ නැමැති ස්ථානයකදී ක්‍රීඩකයින් හමුවී තරග හතරක් පාවාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන බව සැකකරු විසින් යෝජනා කර තිබෙනවා. පසුව මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම් දීමක් සිදුකළා. ඒ අනුව විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙසකට අනුව මෙම ක්‍රීඩකයින් එක් තරගයක් සඳහා ඇමරිකානු ඩොලර් 50000 ක මුදලක් ඉල්ලා තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දුරකථන සංවාද පටිගත කර තිබෙනවා. වීඩියෝ දර්ශනත් තිබෙනවා. ඒවා අපි අද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරනවා.
ස්වාමීනී.. රුපියල් ලක්ෂ 120ක ගනුදෙනුවක්. පසුව රුපියල් ලක්ෂ 80ට අඩු කරලා ඉන් අනතුරුව රුපියල් 115කට එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් ඊයේ (16) දින කොළඹ ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. කළු පැහැති බෑග් එක තමයි එම මුදල් රැගෙන ආවේ. එම බෑගයත් අධිකරණයට ඉදිරිපත් කරනවා.”
කෙසේවෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සැකකාර ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරු අල්ලස් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.
“පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මෙම සැකකාර ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරු අල්ලස් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නෑ. මොවුන් විශාල මුදලක් අරගෙන ශ්‍රී ලංකාවට ඇවිත් සිටින්නේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන්. මෙම සැකකරුවන් තරුණ පුද්ගලයින්.”
මෙම කරුණු සැලකිල්ලට ගෙන සැකකරුවන්ට ඇප නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රධානය කළහොත් විමර්ශනවලට බලපෑම් සිදුවීමට හැකියාව තිබෙන බවය.
ඒ අනුව සැකකරු ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

