හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණි.
පොලිසිය පවසන්නේ වික්‍රමරත්න මහතා තම පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් සිය පපුවට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවය.
පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරයි.
මාලබේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නිවසේදී අද පෙරවරු 6.15ට පමණ මෙම සිදුවීම වාර්තාවී තිබුණි.
උදෑසන ශරීර සුවතා ව්‍යායෑම් සඳහා යෑමට පෙර නිවසේ පිටතට පැමිණි වික්‍රමරත්න මහතා එහි වූ පුටුවක අසුන්ගෙන ඇති බව පැවසෙයි.
පොලිසිය පැවසුවේ, අනතුරුව තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අමතා ඔහුගේ පිස්තෝලය වික්‍රමරත්න මහතා විසින් ඉල්ලාගෙන ඇත.
එම අවස්ථාවේදී ඔහු විසින් අදාළ නිලධාරියාට පවසා ඇත්තේ, වෙපන් එක ගේන්න. අලුත් එකක්ද? පරණ එකක්ද කියලා බලන්න ඕනේ යනුවෙන්.
අනතුරුව තමාට වතුර බෝතලයක් රැගෙන එන ලෙස පවසා වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව නිවස තුළට යවා ඇති බව වාර්තා වෙයි.
ඔහු ගිය පසුව වික්‍රමරත්න මහතා විසින් අදාළ ගිනිඅවියෙන් තම පපුවට වෙඩිතබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව පොලිසිය සඳහන් කරයි.
ඒ සමගම ක්‍රියාත්මක වූ නිවැසියන් කඩිනමින් ඔහුව නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බවය.
මිය යනවිට ඔහු 63වන වියෙහි පසුවුණි.
වික්‍රමරත්න මහතාගේ පුත්‍රයෙකුගේ බිරිඳ වෙනත් අයෙකු සමග සමීප සබඳතාවක් ඇති බව පවසමින් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරා තිබී ඇති බවද වාර්තා වෙයි.
ඒ අතරතුරදී එම පුත්‍රයාගේ බිරිඳ තමා ගෘහස්ත හිංසනයට ලක්වූ බවට පවසමින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබුණි.
එහිදී ළමා හා කාන්තා කාර්යංශය අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව වික්‍රමරත්න මහතා සිත්තැවුලෙන් සිට ඇති බව වාර්තා වෙයි.
තමා පොලිස්පති ධුරය දැරූ පොලිසියේ තමන්ගේ පුත්‍රයාගේ ගැටලුවේදී කාර්යාංශය ක්‍රියාකළ ආකාරය පිළිබඳව මියගිය හිටපු පොලිස්පතිවරයා සිය සමීපතමයන් කිහිපදෙනෙකු සමග සිත්තැවුලෙන් කතා කර ඇති බවද වාර්තා වෙයි.
වික්‍රමරත්න මහතාගේ නිවසට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අදාළ අපරාධ ස්ථානය නිරීක්ෂණය කළේය.
එමෙන්ම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද අද දහවල් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිවසට පැමිණ නිරීක්ෂණය කර තිබුණි.

