ඩෙංගු නිසා ඉදිරි දෙසතිය අතිශය අවදානම් බවට අනතුරු අඟවයි…..

News Iamges.00_00_00_09.Still3100

බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ,

”දෙසැම්බර් ජනවාරිවලම අපිට මේක පොඩ්ඩක් පෙනෙන්න තිබුණා. මේ චේන්ජ් එකත් එක්ක එන පොට ටිකක් හොඳ නැහැ කියලා.. මැයි, ජුනි, ජූලි, නිරිත දිග මෝසම් කාලෙට සහ නොවැම්බර්, දෙසැම්බර් ජනවාරි, ඊසානදිග මෝසම් කාලයට අපිට මේ ඩෙංගු වැඩිවීමක් දකින්න ලැබෙනවා. එහෙම තත්වයක් එන කොට අපි ඒකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. දිට්වා එකෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසයේ ඉතාමත් අධික උෂ්ණත්වයක් තිබුණනේ.. එතකොට අධික උෂ්ණත්වය තියෙනකොට මදුරුවෝ හැදෙන වේගය අඩුයි..  

”ඩෙංගු එන්නත් තුනක් අනුමත කරලා තියෙනවා විවිධ රටවල්වල. ආසියා රටවල්, ඉන්දුනීසියා, පිලිපීන්, තායිලන්ඩ්, වියට්නාම්, මැලේෂියා මේ එන්නත පාවිච්චි කරනවා. ලංකාවට මේක ගේනවා නම් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මේක ගේනවා නම් මේක මේ වසංගතය තත්වයට අඩු කරන්න කිසිම අන්දමකින් වැඩ කරන්නේ නැහැ. මේක ඇත්තටම ඩෝස් දෙකක එන්නතක්. එතකොට එන්නතක් දීලා, ඒක ක්‍රියා කරන්න ටිකක් කල් යනවනේ. ඩෙංගු හැදිලා තියෙනවා නම්, ඒ එන්නතේ ක්‍රියාවලිය ඉතාමත් හොඳයි.”

මේ වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ ගතවූ දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,030 දෙනෙකු හඳුනාගෙන ඇත.

එමෙන්ම වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 52.7ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මෙතෙක් වැඩිම අවදානමක් පැවති කොළඹ දිස්ත්‍රික්කය ද අභිබවා යමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.

මේ අතර පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් අද දිනයේදීත් ක්‍රියාත්මක කෙරිණි.