ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් විසින් සිදුකරන ඉතාම වටිනා ආයෝජනයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අද (09) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
ජූලි 7, 8 සහ 9 යන තෙදින පුරා පැවති මෙම උපාධි ප්රදානෝත්සවයේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ වෘත්තිකයන්ට උපාධි ප්රදානය කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධ්‍යාපනය තුළින් පුද්ගලයන් ස්වාධීනව සිතීමට, තමන් වටා ඇති ලෝකය තේරුම් ගැනීමට, සමාජ අසාධාරණයන්ට එරෙහිව ප්‍රශ්න කිරීමට, විවිධත්වයට ගරු කිරීමට සහ සමාජයේ ක්‍රියාකාරී පුරවැසියන් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි නව පරපුර සවිබල ගැන්විය යුතු බවයි.
උපාධි ප්‍රදානෝත්සවයක් පුද්ගල ජයග්‍රහණ සැමරීමකට පමණක් සීමා නොවී, අධ්‍යාපනයේ අරමුණ සහ එමඟින් සමාජයට පැවරෙන වගකීම් පිළිබඳ නැවත සිතා බැලීමේ අවස්ථාවක් බවද ඇය සඳහන් කළාය.
ජාතික අධ්‍යාපන ආයතනය දශක ගණනාවක් පුරා විෂයමාලා සංවර්ධනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපනික පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්රවල ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමේ සුවිශේෂී ආයතනයක් බවද ඇය පෙන්වා දුන්නාය.
වෙනස් වන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේදී විවේචනාත්මක චින්තනය, ඩිජිටල් දැනුම, නිර්මාණශීලීත්වය, සහයෝගීතාව සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
එමෙන්ම සමාජ විෂමතා අවම කරන අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමේදී ගුරුවරුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බව පෙන්වා දුන් ඇය, දරුවන්ගේ ආත්ම විශ්වාසය, සමානාත්මතාව, ගෞරවය සහ ප්රජාතන්ත්රවාදී වටිනාකම් වර්ධනය කිරීමේ බලය ගුරුවරුන් සතුව පවතින බව සඳහන් කළාය.
ඒ අනුව ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන වටිනාම ආයෝජනයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, දිගින් දිගටම ඉගෙනීමට, පර්යේෂණ කිරීමට සහ වෙනස්කම්වලට අනුව හැඩගැසීමට සූදානම් ගුරුවරුන් රටට අවශ්‍ය බවද කියා සිටියාය.
අද උපාධි ලබන පිරිස අධ්‍යාපනය තුළින් තම පෞද්ගලික දියුණුව පමණක් නොව සමාජයට දායක වන වගකීමක් ද භාරගන්නා බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, සෑම දරුවෙකුටම තම උපරිම හැකියාවන් කරා ළඟා විය හැකි අනාගතයක් ගොඩනැගීම සියලු දෙනාගේම සාමූහික වගකීම බවද අවධාරණය කළාය.

