ඉකුත්දා මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා භාණ්ඩාගාරය විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වෙනිදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවය.
ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වෙනිදා වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

