රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවේ විමර්ශන අවසන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.
නිල සංචාරයකට බව පවසමින් පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය, විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ යළි කැඳවීය.
ඉකුත් මාර්තු මසදී හෘද සැත්කමකට මුහුණ දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පසු පළමුවරට අද අධිකරණයට පැමිණියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය.
එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මාතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ අදාළ සංචාරයේදී යොදාගත් වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බව සඳහන් කළේය.
එහෙත් තම සේවාදායකයාට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත්, ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට භාරදෙන බවත් පැවසූ ජනාධිපති නීතිඥවරයා ඒ පිළිබඳවද විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නීති කෘත්‍යය යළි සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කරමින් එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම්දෙන ලෙසද රජයේ නීතිඥවරියට දැනුම් දී තිබුණි.

