ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම ජූලි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් අද (07) නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්රදානය කළේය.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් තිසේරා, 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ අතර, 1994 වසරේදී වැඩ බලන උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය.
ඔහු ඉන්දියාව, චීනය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල විවිධ වෘත්තීය හා උසස් හමුදා පුහුණු පාඨමාලා සාර්ථකව හදාරා ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වොලොන්ගොන් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධිය ද ලබාගෙන තිබේ.
සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවල අණභාර නිලධාරීවරයා ලෙස මෙන්ම නාවික හමුදා නෞකා සහ ආයතන රැසක අණදෙන නිලධාරීවරයා ලෙස ද කටයුතු කර ඇති ඔහු, අධ්යක්ෂ නාවික පුද්ගල, අධ්යක්ෂ ජනරාල් පුද්ගල, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේ.
වසර 30කට ආසන්න කාලයක් පැවති ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම්වලදී දැක්වූ නිර්භීත සේවය වෙනුවෙන් රණශූර පදක්කම නව වතාවක් හිමිකරගෙන ඇති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා, රාජකාරියට කළ කැපවීම සහ විශිෂ්ට සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා තිබේ.

