මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සමථයකට පත්කරගැනීමට හැකිවූ බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.
මෙම ගැටුවෙන් රැඳවියන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු මරණට පත්ව ඇති බව හෙතෙම පැවසීය.
එමෙන්ම තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පල්ලන්සේන කඳවුර වෙත මාරු කර යවා ඇති බවද ඔහු සඳහන් කළේය.
“අද දිනය වනවිට මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු රඳවා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී එහි ඇතුළත තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කර තිබෙනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන්ගෙන් ද සහාය ලැබුණා. මීට අමතරව, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද සම්බන්ධ වුණා”.
කාන්තා රැඳවියන් සිටින කොටසේ ද යම් උණුසුම් තත්ත්වයක් ඇති වුවද, එය ද පාලනය කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රෝහල් ගත කර සිටින කාන්තා රැඳවියන් කිසිවෙකු නොමැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
“මෙම සිදුවීම බන්ධනාගාර රැඳවියන් අතර පමණක් ඇති වූ ගැටුමක්. ඒ සඳහා නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නෑ. රැඳවියන්ගේ ඥාතීන් කිසිදු අනියත බියක් හෝ කලබලයක් ඇති කර නොගන්න. රෝහල් ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය ඇතුළු විස්තර හෙට ලබාදීමට කටයුතු කරනවා”.
මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇත.
එමෙන්ම රැඳවියන්ගෙන් ඉල්ලීම් කිහිපයක්ද ලැබී ඇති අතර, එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

