හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා……

News Iamges.00_00_00_00.Still3183

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා වෙත ද ලබාදීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 20 වැනිදා පොලිස් උත්තමාචාර මධ්‍යයේ සිදුකිරිමට නියමිතය.

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තබා ඇති අතර හෙට (19) දිනයේ සිට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව ලබාදී තිබේ.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්‍රමරත්න මහතා ඊයේ (17) උදෑසන සිය නිවසේ දි වෙඩි වැදී මියගොස් තිබුණි.

ඔහුගේ මරණය සියදිවි හානී කරගැනීමක් බවට සැකකෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පල කරයි.

සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇත.

නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අදාළ තීන්දුව ලබා දී ඇති අතර හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරිමට ද පියවර ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය සහ මාලබේ පොලීසිය විමර්ශන සිදුකරන අතර හිටපු පොලිස්පතිවරයා වෙඩි තබා ගැනීමට යොදාගත් බව කියන ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා යොමුකර ඇති බව පොලීසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.