නිවසක පවතින බහිරව දෝෂයක් හේතුවෙන් නිවැසියන් නිතර ලෙඩ වන බව පවසා, ව්‍යාජ ශාන්ති කර්මයක් සිදුකර නිධානයකින් ගොඩගත් බව කියන රන් පැහැති බුද්ධ ප්‍රතිමා සහ මැණික් ගල් ලබා දී කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 42ක මුදලක් සහ රන් පවුමක් වංචා කළ සැකකරුවන් පස් දෙනෙකු හලාවත කොට්ඨාශ අපරාධ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, මදුරන්කුලිය සහ වනාතවිල්ලුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පස් දෙනෙකි.
මෙම සංවිධානාත්මක වංචාවට හසුවී ඇත්තේ හලාවත, කොටවෙහෙර දීගන්වැව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, සැකකරුවන් මෙම කාන්තාවගේ නිවසට ගොස් නිවසේ දැඩි අපල උපද්‍රව පවතින බවත්, නිවැසියන් නිතර රෝගාතුර වන්නේ එම භූමියේ බහිරවයෙකු ආරක්ෂා කරන නිධානයක් නිසා බවත් පවසා ඇත.
බහිරවයා ඉවත් කර නිධානය ගොඩගැනීමෙන් පසු නිවැසියන්ට සහනයෙන් ජීවත් විය හැකි බව පවසමින් ඔවුන් නිවැසියන් විශ්වාසය දිනාගෙන තිබේ.
මෙම කරුණ සනාථ කිරීම සඳහා සැකකරුවන් විසින් අදාළ නිවාස භූමිය පරීක්ෂා කිරීමට නවීන ස්කෑනර් යන්ත්‍රයක් ද රැගෙන විත් ඇති අතර, එමගින් නිවැසියන් සම්පූර්ණයෙන්ම රවටා ගැනීමට ඔවුන් සමත්ව ඇත.
නිවැසියන්ගේ එකඟතාවය මත පසුගිය දිනක යකදුරෙකු ද කැටුව පැමිණි සැකකරුවන් නිවසේ ශාන්ති කර්මයක් පවත්වා තිබේ. ශාන්ති කර්මය සිදුවන අතරතුර, නිවැසියන්ට නොදැනෙන පරිදි සූක්ෂ්ම ලෙස රන් පැහැති ව්‍යාජ බුද්ධ ප්‍රතිමා දෙකක් සහ ව්‍යාජ මැණික් ගල් කිහිපයක් මතුකර පෙන්වීමට වංචාවේ ප්‍රධාන සැකකරු කටයුතු කර ඇත.
මෙම බුද්ධ ප්‍රතිමා රන්වලින් නිමවා ඇති බවත්, මැණික් ගල් ඉහළ මිලකට අලෙවි කළ හැකි බවත් පැවසූ සැකකරුවන්, ඒවා පරිහරණය කිරීමට පෙර මුන්නේෂ්වරම කාලි කෝවිලේ විශේෂ පූජාවක් තැබිය යුතු බව දන්වා ඇත. මේ පිළිබඳව දැඩි ලෙස විශ්වාසය තැබූ කාන්තාව, සැකකරුවන් වෙත රුපියල් ලක්ෂ 42ක මුදලක් සහ රන් පවුමක් ලබා දී තිබේ.
මුදල් සහ රන් පවුම ලබාගත් සැකකරුවන්, පසුදින මුන්නේෂ්වරම කාලි කෝවිලට පැමිණෙන ලෙස දන්වා නිවසින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව අදාළ කාන්තාව ඇතුළු පිරිස නිධානයෙන් ලැබුණු බව කී භාණ්ඩ ද රැගෙන මුන්නේෂ්වරම කාලි කෝවිලට ගොස් බලා සිටියද, සැකකරුවන් එහි පැමිණ නැත. සැකකරුවන්ගේ දුරකථන ද ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් තමන් මහා පරිමාණ වංචාවකට හසුව ඇති බව තේරුම් ගත් නිවැසියන් වහාම ක්‍රියාත්මක වී තිබේ.
අගතියට පත් කාන්තාව ඇතුළු පිරිස හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා වෙත ගොස් සිදුකළ පැමිණිල්ලකට අනුව වහාම විමර්ශන ආරම්භ කෙරිණි. හලාවත විශේෂ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ කඩිනම් මෙහෙයුමකින් පසු වංචාවට සම්බන්ධ සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන අතර, වංචාව සඳහා යොදාගත් ස්කෑනර් යන්ත්‍රය ඇතුළු භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

