අමෙරිකානු ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක් මෙරට සංචාරයක……

News Iamges.00_00_00_00.Still2869

අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ (PACAF) අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් තෙදින නිල සංචාරයක් සඳහා අද (21) ශ්‍රී ලංකාවට පැමිණියේය.

එළැඹෙන ජූනි 24 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතා ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ජෙනරාල් ෂ්නයිඩර්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ගුවන් හමුදා ප්‍රධානීන් ඇතුළු රජයේ සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

එම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් ගුවන් හා සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර දැක්වීම් හා කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය යන ක්ෂේත්‍රයන්හි පුළුල් සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

ලෝක භූමි භාගයෙන් අඩකට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතිවිශාල අණදෙන ව්‍යුහයක ගුවන් හමුදා ක්‍රියාකාරකම්වල වගකීම ජෙනරාල් කෙවින් බී. ෂ්නයිඩර් සතු වේ.

ප්‍රධාන වශයෙන් ජපානය, දකුණු කොරියාව, හවායි, ඇලස්කාව සහ ගුවාම් යන උපායමාර්ගික කලාපවල සේවය කරන 46,000කට අධික අමෙරිකානු ගුවන් භටයින් පිරිසකට ඔහු නායකත්වය ලබා දෙයි.

1988 වසරේදී එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියෙන් අධිකාරී නිලධාරියෙකු ලෙස සේවයට එක්වූ ජෙනරාල් ෂ්නයිඩර්, යුරෝ – නේටෝ ඒකාබද්ධ ජෙට් නියමු පුහුණු වැඩසටහනෙන් සහ එක්සත් ජනපද ගුවන් හමුදා අවි පාසලෙන් උපාධි ලබා ඇති දක්ෂ නිලධාරියෙකි.

ඔහු F-16, F-15E, T-38C, UH-1N සහ F-22A යන නවීනතම හා විවිධ මාදිලියේ ගුවන් යානා පියාසර කරවමින් පැය 4,000කට අධික පියාසර පළපුරුද්දක් හිමිකරගෙන ඇති ප්‍රවීණ අණදෙන නියමුවෙකි.

එම සමස්ත පියාසර කාලය තුළ සටන් මෙහෙයුම්වලට සෘජුවම දායක වූ සටන් පියාසැරි පැය 530ක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.