කෝටි තුනකට අධික දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයින් 13ක් දැලේ…..

News Iamges.00_00_00_00.Still2853

රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂ අනූ දහසක් වටිනා, විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 13 දෙනෙකු අද (18) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සියලුම දෙනා චීන ජාතික ව්‍යාපාරිකයන් බව සඳහන් වෙයි.

ඔවුන් අද අලුයම 4ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන්සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු සහ තේ කොළ අඩංගු පෙට්ටි තුළ, චීනයේ නිෂ්පාදිත දුම්වැටි 212,600ක් අඩංගු, දුම්වැටි කාටූන් 1,063ක් සගවා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් පිරිස කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් භාරයේ රදවා තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.