හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු,දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමට පියවර ගෙන තිබේ.
අදාළ සැකකරු හැටන් සහ බගවන්තලාව පොලිස් නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව ඔහු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ප්‍රථම, දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්ථාවක් ලබාගැනීම සඳහා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මෙලෙස පියවරගෙන ඇත.
සැකකරු බගවන්තලාව පෙට්රසෝ වතුයායේ බිරිදගේ සොයුරාගේ නිවසේ සැගව සිටියදී, අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇත.
සැකකරුගේ ඡායාරූප මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ සොරා ගන්නා ලද ස්වර්ණාභරණ උකස්කිරීමට හෝ විකිණීමට නොහැකි වූ බව සැකකරු විසින් හැටන් පොලීසිය හමුවේ පවසා තිබේ.
ඒ අනුව ඔහු විසින් සොරාගන්නා ලද ස්වර්ණාභරණ සියල්ල පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර ඝාතනයට අඹුසැමි යුවලගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දික්ඔය දරවල පොදු සුසාන භූමියේදි සිදු කෙරිණ.

