මැදපෙරදිග කලාපයේ උද්ධමනකාරී ආරක්ෂක සහ දේශපාලන අර්බුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල නැවතත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, එක්සත් ජනපදයේ යූරියා පොහොර ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සමාන්‍යයෙන් 89%ක වැඩිවීමක් ලෙස සැලකේ.
විශේෂයෙන් නිව් ඕර්ලියන්ස් (New Orleans) වෙළඳපොළේ කැටිති (granular) යූරියා මිල වසර තුනකට අධික කාලයකින් පසු ඉහළම මට්ටමට ළඟා වී තිබේ.
2022 දී යුක්රේන–රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර, එම වසරේ සැප්තැම්බර් වන විට යූරියා ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 910 දක්වා ඉහළ ගියේය.
එහෙත් 2023 සහ 2024 වසරවලදී මිල යම් තරමකට පහළ ගොස් ස්ථාවර තත්ත්වයක පැවති බව සඳහන් වේ.
නවතම වාර්තා අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සීමා වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයෙන් පොහොර නැව්ගත කිරීම අඩුවී තිබේ.
එමෙන්ම ප්‍රධාන පොහොර අපනයනකරුවෙකු වන චීනය විසින්ද පොහොර අපනයන සීමා කර ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදන පිරිවැය ඉහළ යා හැකි අතර, 2022 වසරේදී ඇතිවූ ආහාර උද්ධමන තත්ත්වය යළි ඇතිවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අවධානය යොමු කර තිබේ.

