අනීතික ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශනය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.
එම පෙත්සම අද (20) ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර සුජිව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අනීතික ලෙස ලබාගත් අධිකරණ නියෝග මත වග උත්තරකාර පොලිසිය විසින් මෙම විමර්ශනය සිදුකර තිබෙන බව චෝදනා කළේය.
මෙම විමර්ශනවලදී පොලිසිය විසින් නීතිය මගින් නියම කර තිබෙන නිසි ක්‍රියා පාටිපාටිය අනුගමනය නොකොට සිය සේවාදායකයාගේ මැතිවරණ ව්‍යාපාරයට හානි සිදු කිරීමේ අරමුණින් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ අධිකරණයට කරුණු වාර්තා කර ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
පොලිසිය සියලු විමර්ශන සිදු කර තිබෙන්නේ නීතියට අනුකූලව බවද ඇය සදහන් කළාය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය අවසන් කරමින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිව කල් තැබීය.

