මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සේවය කරන නිලධාරීන් සිව්දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් හතර දෙනා ලබන 20 වනදා දක්වා මෙලෙස රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ව්‍යාජ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයෙකු, හිටපු දෙපාර්තමේන්තු ලිපිකරුවෙකු, විමර්ශන හා සංවර්ධන සහකාරවරයෙකු සහ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු බවද වාර්තා වේ.
ඔවුන්ට එල්ලව ඇති චෝදනා අතර, රේගු නිෂ්කාශනයකින් තොරව (රේගු බදු නොගෙවා) ආනයනය කරන ලද වාහන 04ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම ඇතුළත් බව සඳහන් වේ.
එමෙන්ම එම වාහනවලට අදාළව ව්‍යාජ තොරතුරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර අනීතික පැවරීමක් මගින් ලියාපදිංචි කිරීමද චෝදනාවලට ඇතුළත් වේ.
ඊට අමතරව, මෝටර් රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කූට ලේඛනයක් බව දැනුවත්වම එය භාරගෙන කවුළු අංක නිකුත් කිරීම සහ මෝටර් රථයක බර පිළිබඳ සහතික ඉල්ලීම් පෝරමයක් නොමැතිව කූට ලේඛන සමඟ ඉදිරිපත් කළ පැවරීමක් සඳහා අනුමැතිය ලබාදීම ද ඔවුන්ට එල්ලව ඇති අනෙක් චෝදනා වේ.

