ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේ, අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර දී එරට විදේශ අමාත්‍යවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.
මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවත් දන්වා ඇත.
මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

