හිටපු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී, විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මූලික විරෝධතා ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාල නඩුව මාර්තු මස 05 වන දින යළි කැඳවීමට නියම කළේය.
2019 ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා කාලය අතරතුර, නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නම් පුද්ගලයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ධූරයට පත් කිරීමත්, සිය හිතවතුන් කිහිපදෙනෙකු නීත්‍යානූකූල නොවන ආකාරයෙන් විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීමත් මඟින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනුකර ඇත.

