සුරාබදු ගෙවීම් පැහැර හරිනු ලැබු මත්පැන් නිශ්පාදනය සමාගම්වල හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා සියලු පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මත්පැන් නිශ්පාදන සමාගම් විසින් පැහැර හැර තිබෙන සුරාබදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ගොනු කිරීමෙන් පසුව ඇතැම් සමාගම් වල හිග බදු මුදල්වල ප්‍රමාණය වැඩි වී තිබෙන බව සඳහන් කළේය.
2020 වසරේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ රුපියල් බිලියන 1.29 ක්ව පැවති හිග බදු මුදල 2024 වසරේ හිග බදු මුදල රුපියල් බිලියන 1.6 ක් ක් දක්වා වැඩි වී තිබෙන බවද මෙහිදී සඳහන් කළේය.
මෙම සමාගම්වලට සද්භාවයෙන්ම බදු ගෙවීමේ බදු ගෙවීමේ අරමුණක් තිබුණේ නම් මෙවැනි තත්වයක් උද්ගත විය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
එම අවස්ථාවේදී වගඋත්තරකාර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ගේ මත්පැන් නිශ්පාදන බලපත්‍රය මේ වන විට අත්හිටුවා තිබෙන බව සඳහන් කළේය.
එසේම සියලු බැංකු ගිණුම් හා දේපළ තහනමට ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව සඳහන් කළේය.
හිග මත්පැන් බදු අය කර ගැනීම සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගය ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු මෙහිදී පැවසුවේය.
ඇතැම් සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් එම සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි වැඩිදුර ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි මාර්තු මස 05 වන දා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට නියම කළේය.

