නීපා ගැන අනියත බියක් එපා – මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්…..

News Iamges.00_00_00_00.Still1482

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය.

නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්ය.

නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බව වාර්තා වේ.

ආසියානු කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෛම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

“ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා.”

මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් ද ‘අද දෙරණ’ නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගෙන් විමසීමක් කළේය.

“අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්.” 

එහිදි ඔහු සඳහන් කළේ, එවැනි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.