රුපියල් කෝටි හතක් පමණ වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කරමින් සිටියදී අද (07) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙක් වන සැකකරු අවුරුදු 24ක ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 277 දරණ ගුවන් යානයෙන් අද උදෑසන 07.33ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ, කාබන් කොළ වල ඔතා වායුව කාන්දු නොවන ආකාරයට සකස් කර, එවැනි ඇසුරුම් 15ක් තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 070ක ප්‍රමාණය අසුරා ගෙන ඒවා මත රසකැවිළි අඩංගු පැකට් විශාල ප්‍රමාණයක් ද දමා සඟවා ගෙන පැමිණ ඇති බව සඳහන් වෙයි.
සැකකරුට මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු හඳුනන, දැනට තායිලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක විසින් මෙරටට රැගෙන ඒම සඳහා භාර දී ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය තොගය සමඟ ඒවා රැගෙන ආ ගුවන් මගියා ද කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

