අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවලට අදාළව නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට අවැසි පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් පී එච් ඩබ් ඩ් එල් සමරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අනුරාධපර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වා ඇති විමර්ශනවල උද්ධෘත (සටහන්) ඉකුත් පෙබරවාරි මස 17 දින නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවය.
එහෙත් ඊට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් දීර්ඝ කාලයක් ගත වන තුරුත් නොලැබීම තුළ සිය සේවාදායකයාට ඉමහත් අගතියක් සිදුව ඇති බවය.
අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළ සිය සේවාදායකාගේ රාජකාරි වැඩ ද මෙම සිද්ධිය හේතුවෙන් තහනම් කර ඇති බවද අවධාරණය කළ නීතිඥවරයා එම නිසා නීතිපති උපදෙස් කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයිද ඉල්ලා සිටියේය.
මෙම නඩුවේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා ද මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප මත මුදා හැරින අධිකරණය මගින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා සහ නීතිඥ මදාරා විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.
සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් මුල් අවස්ථාවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේද? යන්නයි.
මෙම වෙඩි තැබීම තුලින් තමා ඝාතනය කිරීමට උත්සහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදු වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මගින් ප්‍රකාශ කොට නැති බවත් පැවසූ නීතිඥවරයා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනීමැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමණ පදනමක් මතද? යන්න විමසා සිටියේය.
සිය සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ස්වාධීන මෙන්ම අපක්ෂපාති නොවන බවද ප්‍රකශ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්වකීය රාජකාරි ජිවිතයේදී අතිශය සුවිශේෂි දස්කම් දක්වා වරින් වර ඉහළ නිලධාරීන්ගේ ප්‍රසංශාවට ලක්ව ඇති සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේශ සහගතව කටයුතු කර ඔහුට අගතියක් සිදු කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර චෝදනා කළේය.

