පොලිස්පති,
ප්‍රියන්ත වීරසූරිය මහතා,
331 ඕල්කට් මාවත,
06 වන මහල,
කොළඹ.
2025.03.15.
පොලිස්පතිතුමනි,
මිහින්තලා පූජාභූමියේ ආරක්ෂාව සම්බන්ධවයි.
ලක්දිව බුදු දහම ප්‍රතිෂ්ඨාපනය කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථානය යනු අමිල වූ පුරාවිද්‍යා ස්මාරකයන් සහිත දිනපතාම දෙස් විදෙස් ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන උතුම් ස්ථානයකි. මීට වසර 2333 කට පෙර මෙරට විසූ රාජරාජමහාමාත්‍යාදීන් ඇතුළු ලක්වැසි සියලු ජනයා බෞද්ධ දර්ශනයේ හර පද්ධතිය චරිතායනය කර ගනිමින් ස්වකීය ජීවිතවල පරිවර්තනීය වෙනසක් ළඟා කර ගත්තේ මේ පින්බිම කේන්ද්‍ර කරගෙන ඇතිවූ බෞද්ධාගමික සංස්කෘතිකමය වෙනස හරහාය. එවැනි ඉතා සුවිශාල අතීත වටිනාකමක් ඇති මෙම පින්බිම හා පින්බිම වන්දනා කිරීමට හා දැක බලා ගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අතීතයේ පටන් දිවි හිමියෙන් කැපවී ක්‍රියා කළ පිරිස බොහෝය. එහිදී පූජා භූමියේ පෞරාණික ස්මාරක සහිත ස්ථානයන් සේම පූජාභූමිය දැක බලා ගැනීමට හා වන්දනා කිරීමට පැමිණෙන දෙස් විදෙස් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සහයෝගය සුළුපටු නොවන බව මා සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකවය.
උක්ත සඳහන් කළ අයුරින් අතීතයේ දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මිහින්තලා පුණ්‍ය භූමිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූවද මීට වසර කිහිපයකට පෙර සිට පූජා භූමිය කෙරෙහි දක්වන්නේ කුඩම්මාගේ සැලකිලිය. මිහින්තලේ පොලිස් ස්ථානය යටතේ මෙම පූජා භූමියෙහි ආරක්ෂාව සැලසෙන අතර වර්තමානය වන විට මෙම ආරක්ෂක කටයුතු දැඩි ලෙස පැහැර හරිමින් ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය. මා විසින් කොතෙකුත් මේ ගැටලු පිළිබඳව මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ඒ ඒ අදාළ නිලධාරීන්ට හා පාර්ශවයන් වෙත අවස්ථා කිහිපයකදීම කරුණු ඉදිරිපත් කළ ද එය මේතාක්ම බිහිරි අලින්ට වීණා වාදනය කරන්නාක් හා සමාන වූ නිශ්ඵල කරුණක්ම විය.
මිහින්තලේ පොලිස් ස්ථානයට අනුබද්ධව රාජමහා විහාර මැදමළුව පොලිස් මුරපොළ හරහා උඩමළුවෙහි පිහිටා ඇති ධාතු මන්දිරය, සේල චෛත්‍යය සහිත ප්‍රධාන මළුව, මිහිඳු මහා සෑය හා මිහින්තලා මහා සෑය, මැදමළුව, මැදමළුව රථ ගාල හා මාර්ග බාධකය, මැදමළුවට යන මාර්ගයේ ඇති රථ ගාල හා මාර්ග බාධකය, කළුදිය පොකුණ, රාජගිරි ලෙන් කන්ද, කටු සෑය, ප්‍රධාන පඩිපෙළ ආරම්භයේ ඇති රථ ගාල හා මාර්ග බාධකය, පඩිපාමුල ඇති මුර කුටිය, වතුර මල අසල ඇති රථ ගාල ආදී සියලු තැන්හි ආරක්ෂාව වෙනුවෙන් නිලධාරින් යෙදවීම මීට වසර කිහිපයකට පෙර දී නිවැරදිව සිදුවිය. නමුත් වර්තමානයේ දී ඒ කිසිදු ස්ථානයකට ප්‍රමාණවත් පරිදි නිලධාරීන් සේවයට නොයොදවා ක්‍රියා කරන අයුරු දැකගත හැකිය. මෙම ස්ථාන වලින් කිහිපයකට හෝ රාජකාරියට නිලධාරීන් යෙදවූව ද එම අතලොස්සක් වූ නිලධාරීන්ම විශේෂ රාජකාරී සඳහා යෙදවීමට කටයුතු කිරීම හේතුවෙන් අදාල ආරක්ෂක නිළධාරීන් නොමැතිවයාම නිසා මෙහි ආරක්ෂාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් කළ යුතුය.
වර්තමානයේ රටෙහි බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන විවිධ අපරාධ හා මනුෂ්‍ය ඝාතන පිළිබඳව සලකා බැලීමේදී මෙම ඓතිහාසික ස්ථානය තුළද එවැනි ක්‍රියා සිදු නොවනු ඇතැයි සහතික කළ නොහැකිය. ඊට කදිම නිදර්ශනය වන්නේ මෑතකදී මිහින්තලා පියගැටපෙළ අසලදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි වලට සම්බන්ධ යැයි පවසන අපරාධකරුවා සම්බන්ධ සිදුවීමයි. එම සිදුවීමෙන් පැහැදිලි වන්නේ පාතාලයට සම්බන්ධ අපරාධ පවා දැන් දැන් මෙම පූජා භූමිය තුලද සිදුවෙමින් පවතින බවයි.
මං පහරන්නන්, මාල කඩන්නන්, ස්ත්‍රී දූෂකයන්, මස් පිණිස සතුන් මරන්නන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ආදී බොහෝ අපරාධකරුවන්ගේ අපරාධවලට නිදහස් තෝතැන්නක් බවට මිහින්තලා පූජාභූමිය පත්වෙමින් තිබීම පිළිබඳව මා අතිශය කණගාටුවට පත්වෙමි. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන්ගේ දැනුවත් කිරීම් ලෙස පූජා භූමිය තුළ සවි කර තිබූ ‘රථ වාහන නවතා තැබීම තහනම් – රථ වාහන ඇතුළු වීම තහනම්’ ආදී දැනුවත් කිරීමේ පුවරු පවා ත්‍රී රෝද රථවලින් පැමිණ ජනතාව විසින් පටවාගෙන සිය නිවෙස් වලට රැගෙන ගොස් ඇත. ප්‍රදේශවාසී ඇතැම් ජනතාව වර්තමානය වන විට මිහින්තලය පොලිස් ස්ථානය හා එහි සේවයෙහි නියුතු ඇතැම් නිලධාරීන් පිළිබඳව දක්වන ආකල්පය හා ගෞරවය පිළිබඳව එයින් මනාව පැහැදිලි වේ. පොලිස් නිලධාරීන් කෙරෙහි ජනතාව තුළ තිබිය යුතු යහපත් වූත්, සදාචාරමත් වූත්, ආකල්ප දිනෙන් දින හීන වෙමින් පැවතීම කණගාටුදායකය.
එසේම පූජා භූමිය සම්බන්ධයෙන් ලබා දී ඇති පොසොන් කමිටු තීරණ බොහොමයක් මිහින්තලා පුරාවිද්‍යා කලාප කාර්යාලය භාර නිලධාරියා හා එම කම්කරුවන් විසින් අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන අයුරු දැක ගත හැකියි. පොලිසිය විසින් යොදා ඇති මාර්ග බාධක ගලවා හොර රහසේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් සංවර්ධන කමිටුවේදී මේ සියලු බාධකයන් ඉවත්කොට සියලු මාර්ගයන් විවෘත කරන ලෙස මිහින්තලේ රථ වාහන පොලිසියට දැන්වූ බවයි. පොසොන් කමිටු රැස්වීම් වලදී සාකච්ඡා කර තීන්දු කරගත් එම තීන්දු තීරණයන් සංවර්ධන කමිටුවේදී වෙනස් කළ බවට විහාරාධිපති හිමියන් වන මා හට හෝ දැනුම් නොදීම හාස්‍යජනකය. එම මාර්ග බාධක ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට ඇතැම් වාහන ස්මාරකයන් උඩ පවා ඒවාට හානි වන අයුරින් හා අගෞරව වන අයුරින් ගාල් කර තිබෙන අයුරු දැකගත හැකිය. ජනතාවගේ සහ පූජා භූමියේ ආරක්ෂාව පිණිස පොසොන් කමිටු රැස්වීම් වලදී නීත්‍යානුකූලව ලබාගත් එම තීන්දු තීරණයන් වෙනස් කරමින් ජනතාවගේ හිතසුව පිණිසම යැයි සලකා සංවර්ධන කමිටු රැස්වීමේදී ලබාගත් ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ මාර්ග බාධක ඉවත් කිරීම පිළිබඳව මාගේ කිසිදු විරෝධතාවක් නොමැති අතර පුරාවිද්‍යා ස්මාරකයන් සහිත පුරාවස්තූන්වල හා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව මින් ඉදිරියට වගකීම පැවරෙන්නේ මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරීන් හට ද? මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරිතුමා ඇතුළු සේවකයන් හට ද? එසේත් නොමැතිනම් කුමන පාර්ශ්වයකට ද? යන්න පිළිබඳ මා හට පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.
මෙවැනි ඇතැම් පුද්ගලයින්ගේ අත්තනෝමතික හැසිරීම් හේතුවෙන් ජනතාව නීතිය කෙරෙහි පවතින විශ්වාසය අවතක්සේරු කිරීමට පෙළඹීමක් මෙන්ම පොලිසිය හා ජනතාව අතර පවතින අන්‍යෝන්‍යය අවබෝධය හා විශ්වාසය පළුදු වීමට හේතුවක් ද වනු ඇත.
ඇතැම් අවස්ථාවන්වලදී අප විසින් දරන්නා වූ යම් යම් අදහස් පදනම් කරගනිමින් සමාජයේ විවිධ මතවාද ගොඩනැගුණ නමුදු ඒවායෙන් ඉහළ නිලධාරීන් වෛරය පිරිමසා ගැනීමට කටයුතු නොකළ පසුබිමක, ප්‍රාදේශීය වශයෙන් පවතින ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා ආදියෙහි සේවය කරන ඉහල නිලධාරියාගේ සිට කම්කරුවා දක්වාම පෞද්ගලික මතිමතාන්තර පෙරටු කරගනිමින් මා හට රිදවීමට හැකි යැයි සිතා සිදුකරන නිෂ්ඵල උත්සාහයන් හේතුවෙන් අගතියට පත්වන්නේ මා නොවන බව ද තරයේ සඳහන් කරමි. ඒ හේතුවෙන් ස්ථානයෙන් හා ජනතාවගෙන් පළිගැනීම කෙතරම් අශිෂ්ට සම්පන්න හැසිරීමක් වන්නෙහි ද?
මා විසින් මෙම කාරණා පිළිබඳව ඔබතුමන්ව දැනුවත් කිරීමට අදහස් කළේ මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා හා එම නිලධාරීන් හට කොතෙකුත් මේ පිළිබඳව දැනුවත් කළ ද ඒ වෙනුවෙන් කිසිදු සහනදායී පිළිතුරක් මේ ගැටලු වෙනුවෙන් මේතාක් ලබා නොදීමට අපොහොසත් වීම නිසාය. මිහින්තලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ලිස්සා යාමේ ආඳා න්‍යායක් අනුගමනය කිරීම හේතුවෙන් මේ ගැටලු පිළිබඳව ඔබතුමාව දැනුවත් කිරීමට පෙළඹුණු බව නැවත නැවත සිහිපත් කරමි.
පූජා භූමියේ හා මහජනතාවගේ ආරක්ෂාව හා ගෞරවය පිණිස පමණක්ම මා විසින් මෙම කරුණු ඉදිරිපත් කළ අතර මේ සම්බන්ධයෙන් මා හට ලාභ ප්‍රයෝජනයක් ලබා ගැනීමට හෝ පෞද්ගලික අපේක්ෂා මුදුන්පත් කර ගැනීමට කිසිදු අදහසක් හෝ යටි අරමුණක් නොමැති බවද සිහිපත් කරන්නෙමි.
අවසන් වශයෙන් මා සඳහන් කරනුයේ, මිහින්තලයේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් හා ඇතැම් වගකිවයුතු නිලධාරීන් විසින් මේ වන විට අපරාධකරුවන්ට පාරාදීසයක් ලෙස නිර්මාණය කර දී ඇති මෙම වටිනා පින්බිම තවදුරටත් කෙළෙසීමට ඉඩ නොතබා ජනාධිපතිතුමන් හා ආරක්ෂක ඇමතිතුමන් ආදී වගකිවයුතු පාර්ශවයන්ද මේ පිළිබඳ දැනුවත් කර පූජා භූමියේත් මහජනතාවගේත් පුරාවිද්‍යා ස්මාරකයන්ගේත් ආරක්‍ෂාව තහවුරු කිරීමට සුදුසු ක්‍රියාමාර්ගයක් කඩිනමින් ගනු ඇතැයි විශ්වාස කරන අතර පූජාභූමියට හෝ වන්දනාමාන කිරීම සඳහා දෛනිකව පැමිණෙන දෙස් විදෙස් ජනතාවට යම් වූ හෝ කරදරයක් පීඩාවක් ඇති වුවහොත් එහි සියලු වගකීම මිහින්තලේ පොලිස් ස්තානාධිපතිවරයා විසින් භාරගත යුතු බවටත් සිහිපත් කරන්නෙමි.
තෙරුවන් සරණයි!
මෙයට සසුන් ලැදි,
ඓතිහාසික මිහින්තලා රාජමහා
විහාරාධිපති හා භාරකාර