කුඩු රොෂාන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ

court-2

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 36 හැවිරිදි, විජේසිංහ ආරච්චිලාගේ නිරෝෂා නමැති විත්තිකාරියට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඇය මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් නමැත්තාගේ බිරිඳ බවයි සඳහන් වෙන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා ලද බුද්ධි තොරතුරකට අනුව පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම විත්තිකාරිය සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබූ බවත්, පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර පරීක්ෂාවක් සිදු කළ බවත්, එහිදී එහි අන්තර්ගත ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 3.58 ක් බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන් අනතුරුව මෙම විත්තිකාරියට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ අතර, නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කර ඇත්තේ, විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබෙන බවයි.