වන අලි දුම්රිය හා ගැටීම අවම කිරීමට වැඩපිළිවෙළක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

elephant-train

වන අලි දුම්රිය හා ගැටී අනතුරට ලක්වීමේ සිද්ධීන් ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ වනවිට සිදු වී තිබෙන දුම්රිය හා අලි ඇතුන් ගැටීමේ අනතුරු සිද්ධීන් පිළිබඳ වෝහාරික පරීක්‍ෂණයක් සිදු කරන ලෙසද, අනතුරු බහුල ප්‍රදේශවල අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් වෙත වේග සීමාවන් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔවුන් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

අලි ඇතුන් අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස පරිසර හා වනජීවි අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.