මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ජංගම දුරකථනය රස පරීක්ෂකට

court-2

අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවසර ලබාදෙමින් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබෙනවා.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.