හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.
එම පෙත්සම අද මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිම සඳහා රජයේ නීතිඥවරයෙකු පත්කර නොමැති බවට අනාවරණයවී තිබුණා.
මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල්යාම නුසුදුසු බව සඳහන් කර ඇති අතර එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත්කළ යුතු බවත් විනිසුරු මඩුල්ල පෙන්වාදී තිබෙනවා.
ඒ අනුව නඩුව ජනවාරි මස 23 වනදා දක්වා කල් තැබීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.