මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා – වැඩබලන පොලිස්පති

priyantha-weerasoriya

මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව අද (23) විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පැවසුවා.

එසේම ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවත් ජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුර ඔක්තෝබර් 07 වනවිට ලැබුණු බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ඒ අනුව යම්කිසි විදේශික ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මීට සති 03 කට පෙර සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් කළා.

විදේශිකයන්ගේ ආරක්ෂාව, ඔවුන් සිටින ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව, විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා බුද්ධි නිලධාරීන් එකතුවෙන් සැලසූ බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම නිශ්චිත තොරතුරු ලැබීම නිසා මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිටම විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කළ බවත් අද පෙරවරුවේද ආරක්ෂක කවුන්සිලය රැස්වූ බවත් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.